අයහපත් කාලගුණික තත්ත්වයන් හමුවේ වී වේලීමට එල්ල වන බාධා සහ මහා මාර්ග අයිනේ වී වේලීමෙන් ගොවි ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සහ අනතුරු සැලකිල්ලට ගෙන දිනකට වී මෙට්‍රික් ටොන් 10කට ආසන්න ප්‍රමාණයක් වේලීමේ ධාරිතාවය සහිත නවීන තාක්ෂණික වී වේලන යන්ත්‍ර 50ක් දිවයින පුරා පිහිටි සමූපකාර සමිති වෙත ප්‍රදානය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
මෙලෙස රදානය කිරීම නියමිතව ඇති වේලන යන්ත්‍රවල වටිනාකම රුපියල් මිලියන 10ක්.
නිසි ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරමින් වී වේලන යන්ත්‍ර අවශ්‍ය සමූපකාර සමිතිවලට මේ සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතිනවා.
මේ තුළින් ගොවීන්ට තම අස්වනු සමූපකාර වෙත අලෙවිකර ඉහළ මිලක් ලබා ගැනීමටත්, සමූපකාර සාමාජිකත්වය හිමි ගොවි ජනතාවට ඉතා පහසුවෙන් අදාළ වියලන යන්ත්‍ර භාවිත කර තම අස්වනු වියලා ගැනීමටත් අවස්ථාව සැලසෙනවා.
මේ අතර පසුගිය මහ කන්නයේ දී වාර්තාගත වී අස්වැන්නක් ලැබී ඇති බවත්, මෙම යල කන්නයේදී ද ගොවීන් විශාල වශයෙන් වී වගා කර තිබෙන බැවින් රට තුළ කිසිඳු සහල් හිඟයක් ඇතිවීමට ඉඩක් නොමැති බවයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ.
එමෙන්ම වී අලෙවි මණ්ඩලය සතු සියලු ගබඩා වහා විවෘත කරමින් සතොස සහ අනෙකුත් රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරමින් මෙම යල කන්නයේ වී අස්වනු ගොවීන්ගෙන් සාධාරණ මුදලකට මිලදී ගැනීම සදහා වන කටයුතු කඩිනම් කිරීම අරඹා ඇති බවත් එම අමාත්‍යාංශය දැනුම් දෙනවා.













