බටහිර පැසිෆික් කලාපය තුළ සෘජු යුද ගැටුමකින් තොරව, කුඩා පියවර හරහා භූමි පාලනය තහවුරු කරගැනීමේ ‘සලාමි ස්ලයිසින්’ (Salami-Slicing) උපායමාර්ගය චීනය විසින් ඉතා සූක්ෂ්ම ලෙස ව්‍යාප්ත කරමින් සිටින බව CNN පුවත් සේවය අනාවරණය කරනවා.
පසුගිය දින කිහිපය තුළ චීන සිවිල් නීති බලාත්මක කිරීමේ නැව් පිලිපීනය සහ තායිවානය අතර පිහිටි උපායමාර්ගික බෂි සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින්, තායිවානයට නැගෙනහිරින් පිහිටි සංවේදී මුහුදු කලාපයන්හි සිතියම්ගත කිරීම් සහ මුරසංචාර කටයුතු සිදුකර තිබෙනවා.
ආරක්ෂක විශ්ලේෂකයන් මෙම සුවිශේෂී නාවික මෙහෙයුම හඳුන්වන්නේ “බෂි බිඳදැමීම” ලෙසයි. චීනය සිය ඉතිහාසයේ පළමු වතාවට ‘පළමු දූපත් දාමය’ ලෙස හැඳින්වෙන ඇමරිකානු ආරක්ෂක සීමාවන් පසුකර නිල ස්වෛරීභාවය ප්‍රකාශ කිරීමට මෙලෙස උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙමඟින් චීනය ජාත්‍යන්තර සාගර නීති නොතකා කලාපය තුළ “නව දේශසීමා යථාර්ථයන්” නිර්මාණය කරමින් සිටින බව ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පෙන්වා දෙනවා.
චීන රජයේ මාධ්‍ය මෙම පියවර දේශපාලන සහ නීතිමය සංඥාවක් ලෙස හඳුන්වද්දී, මෙම ක්‍රියාවලිය මිලියන 23ක ජනගහනයක් වෙසෙන තායිවානයේ ස්වෛරීභාවයට සහ ආරක්ෂාවට සෘජු මෙන්ම බරපතළ තර්ජනයක් එල්ල කරන බව බටහිර ආරක්ෂක අංශ අනතුරු අඟවනවා.













