ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ (SLDA) 93 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය ඊයේ (26) කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ දී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.
මෙම සැසි හරහා ශ්‍රී ලංකාවේ මුඛ සෞඛ්‍ය සම්බන්ධයෙන් විද්‍යාත්මක අත්හදාබැලීම්, රෝග වැළැක්වීම සහ සියලු දෙනාටම ප්‍රවේශ විය හැකි සෞඛ්‍ය සේවාවන් ප්‍රවර්ධනය කිරීම පිලිබඳ අවධානය යොමු වුණා.
මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතින් රන් පදක්කම්ලාභී වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්, පර්යේෂකයන් සහ ශිෂ්‍යත්වලාභීන් ඇගයීමටලක් වූ අතර, එම ජයග්‍රහණ ශ්‍රී ලංකාවේ නවෝත්පාදන මූලික කරගත් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් බිහිකිරීම සඳහා අධ්‍යාපනය ආයතනවල කැපවීම පිළිබිඹු කරන බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.
දශක නවයකට අධික ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ කාර්යභාරය අගය කළ අග්‍රාමාත්‍යවරිය, දැනුම ප්‍රවර්ධනය කිරීම සහ වෘත්තීය ප්රමිතීන් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ දීර්ඝකාලීන මෙහෙවර පැසසුමට ලක් කළා.
මහජන සෞඛ්‍යය යනු රෝහල්වලට පමණක් සීමා වූවක් නොවන බවත්, යහපත් සෞඛ්‍යයක් ආරම්භ වන්නේ රෝග වළක්වා ගැනීමට උපකාරී වන සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකින් බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කර සිටියා.













