අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට චෝදනා එල්ල වී ඇති බාල වයස්කාර දැරියක් දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
අමාත්‍යවරිය සඳහන් කරන්නේ වින්දිත දැරිය වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකා පොලිසිය බවයි.
එහිදී අමාත්‍යවරිය පවසන්නේ වින්දිත දැරිය අධිකරණයට අනාවරණය කිරීම හෝ බාහිර පාර්ශ්වය වෙත අනාවරණය කිරීම කිසිසේත්ම අවශ්‍ය නොවන බවයි.
එමෙන්ම දැරිය විසින් ලබාදී ඇති ආරම්භක සාක්ෂියේ සිට මෙතෙක් ලබා දී ඇති සාක්ෂි සහ අනාවරණය කරගත් කරුණු පදනම්කරගෙන මෙම නඩුව ඉදිරියට ගෙනයෑමේ හැකියාව පොලිසියට පවතින බවයි අමාත්‍යවරිය සඳහන් කළේ.
මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන සම්බන්ධයෙන් පවතින විශ්වාසය බිඳ දැමීමට විපක්ෂය සහ තවත් කණ්ඩායම් දරන උත්සාහයන්වලට දැඩි සේ විරෝධය පලකරන බවත් ඇමතිවරිය මෙහිදී අවධාරණය කළා.
එමෙන්ම වින්දිත දැරියගේ පෞද්ගලික තොරතුරු මෙන්ම මෙම නඩුවට අදාළ විමර්ශන තොරතුරු අනාවරණය කිරීමෙන් වැළකී සිටින ලෙස ද ඇය මාධ්‍ය වෙතින් ඉල්ලා සිටිනවා.













