අන්තර්ජාලය ඔස්සේ මෙරට පුද්ගලයින්ගේ බැංකු ගිණුම්වලට හොර රහසේ ඇතුළු වී මුදල් වංචා කිරිමේ ජාවාරමක නිරත වී යයි සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 06 දෙනෙකු ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක නියෝග කළා.
පරිගණක මඟින් මුදල් වංචා කරන හැකර්වරුන්යැයි සැක කල හැකි විදේශිකයින් පිරිසක් ගන්දර තලල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටීන බවට මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබුණා.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකාර චීන ජාතිකයින් සන්තකයේ තිබී ලැප්ටොප් පරිගණක 04 ක් හා නවීන පන්නයේ ස්මාර්ට් ජංගම දුරකතන 30 ක් චාජර් 72 ක් රුපියල් 1000 දුරකතන පෙර ගෙවුම් කාඩ් පත් 125ක්, ප්‍රින්ටරයක් ඇතුළු විද්‍යුත් උපකරණ තොගයක් ද පොලීසිය භාරයට ගෙන තිබෙනවා.
ඉකුත් ජනවාරි මස 04 වැනි දින සීට එම සැකකරුවන් 06 දෙනා විශාල මුදලක් ගෙවා අදාල හෝටලය තුල රැදී සිට ඇති බව පොලීසිය සදහන් කරයි.සැකකරුවන් අතර චීන ජාතික කාන්තාවක ද සිටින බව පොලීසිය පවසනවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සන්තකයේ වලංගු විදෙස් ගමන් බලපත්‍ර හා සංචාරක වීසා ලියකියවිලි නොතිබුණු බවද පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.
අන්තර් ජාලය ඔස්සේ සිදු කරන මුදල් වංචා සිදු කිරීම,සංචාරක වීසා මගින් පැමීණ මෙරට රැකියා වල නිරත වීම,වලංගු විදෙස් බලපත්‍ර හා වීසා සහතික නොමැති වීම ආදී චෝදනාවන්ට සැක පිට ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණය වෙත දැනුම් දුන්නා.
තවද ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බවත් ඒ සදහා භාෂා පරිවර්තකවරයෙක්ගේ සහාය ලබා ගැනීමට නියමිත බවත් පොලීසිය සඳහන් කළා.













