Update – කොග්ගල දුම්රිය බස් අනතුරේ බස් රථයේ රියදුරුට මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා

උපකාරක පංතියක සිසුන් පිරිසක් රැගත් බස් රථයක් කොග්ගල දුම්රිය හරස් මාර්ගයක දී දුම්රියක ගැටීමෙන් ඊයේ (25) පස්වරුවේ බරපතළ අනතුරක් සිදුව තිබුණා.

මෙම අනතුරින් තුවාල ලැබූ සිසුන් 09 දෙනෙක් තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර සඳහන් කළා.

ඉන් එක් සිසුවෙක් බරපතළ තත්ත්වයෙන් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ.

මේ අතර අනතුර සිදුකළ බස් රථයේ රියදුරු අපරාධ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු අද (26) මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ මෙය අනතුර මාරාන්තික “යාංගල්මෝදර දුම්රිය අනතුරට” සමාන වීමට ඉඩ තිබූ බරපතළ ඛේදවාචකයක් වුව ද වාසනාවකට මෙන් ජීවිත හානියක් සිදුනොවූ බවයි.

මේ අතර බස් රථයේ රියදුරුගේ බරපතල අපරික්ෂාකාරී ධාවනය හේතුවෙන් ඔහු මේ වන විට මත්ද්‍රව්‍ය පරීක්ෂණයකට යොමු කර ඇති බවද සඳහන් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා, දණ්ඩ නීති සංග්‍රහයේ මිනී මැරීමට තැත්කිරීම යන වරද විමර්ශනවලට අනුව සංස්ථාපනය වන බවත් ඒ අනුව එවැනි චෝදනා රියදුරුට එරෙහිව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි
පැවසුවේ.