තාත්තයි බාප්පයි දැරියව පැහැර ගත් අරමුණ හෙලිවෙයි

සූරියවැව බැද්දෙවැවදී ගිනි අවියක් පෙන්වා දැරියක් පැහැර ගැනීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ෂණවලදී දැරියගේ පියා හා බාප්පා සූරියවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

සූරියවැව, බැද්දෙවැව, නුගේකන්ද පදිංචි වයස අවුරුදු 06ක දැරියක් යතුරු පැදිවලින් පැමිණි පුද්ගලයන් සිව් දෙනෙකු විසින් ගිනි අවියක් පෙන්වා නිවැසියන් බියගන්වා පැහැරගෙන ගිය බවට දැරියගේ පියා විසින් සූරියවැව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව සූරියවැව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර පියාගෙන් සිද්ධිය පිළිබඳව සිදුකළ ප‍්‍රශ්න කිරීමේදී ලබාදී තිබූ පරස්පර විරෝධී ප‍්‍රකාශ හේතුවෙන් සූරියවැව පොලිසිය විසින් දැරියගේ පියා හා ඔහුගේ බාල සොහොයුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීමේදී අනාවරණයවී ඇත්තේ දැරිය පැහැර ගැනීමේ සිද්ධිය සම්පුර්ණයෙන්ම පියා හා පියාගේ බාල සොහොයුරා විසින් නිර්මාණය කළ සිදුවීමක් බවයි.

මීට මාස එක හමාරකට පමණ පෙර දැරියගේ මව වෙනත් විවාහයක් කරගෙන යාම හේතුවෙන් ඇය පොලිසියට ගෙන්වා ගැනීමට හා මෙම පැහැර ගැනීමේ සිද්ධියට බිරිඳ හසුකිරීම මෙහි අරමුණ වී තිබෙනවා.

මෙහිදී සැකකරුගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීමේදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ දැරිය සූරියවැව පිහිටි ඥාති වරයෙකුගේ නිවසේ නතරකර ඇති අතර, පසුව මෙම පැහැර ගැනීම සිදුවූ බවට සැකකාර පියා විසින් සූරියවැව පොලිසියට පැමිණිල්ල සිදුකර තිබෙන බවයි.