විදේශ ආපදා සහන ආධාර සම්බන්ධීකරණය සඳහා වූ ජ්‍යෙෂ්ඨ කමිටුව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) රැස් වුණා.
කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පිහිටි එම කමිටුවේ ලේකම් කාර්යාලයේදී සිය තෙවැනි රැස්වීම මෙලෙස පවත්වනු ලැබුවා.
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම කමිටුව මඟින් පසුගිය මාසයේ මෙරටට බලපෑ ස්වාභාවික ආපදාවෙන් පසු ලැබෙන සියලුම විදේශීය මානුෂීය ආධාර සම්බන්ධීකරණය, කළමනාකරණය සහ බෙදාහැරීම සඳහා වගකීමෙන් ක්‍රියා කරනු ලබනවා.
ලැබෙන ආධාර තොග භාර ගැනීම සහ තහවුරු කිරීම, ගබඩා කිරීම, අවශ්‍ය පරිදි වෙන් කිරීම, පිටත් කර හැරීම සහ අවසානයේ බලපෑමට ලක් වූ ජනතාව වෙත බෙදාහැරීම ඇතුළු සමස්ථ සහන සැපයුම් ක්‍රියාවලිය මෙම කමිටුව මගින් අධීක්‍ෂණය කරනු ඇති.
ඊයේ (15) පැවති සාකච්ඡාවේදී, සහන මෙහෙයුම්වල වත්මන් ප්‍රගතිය, ආපදා සහන ද්‍රව්‍ය බෙදාදීමේදී මුහුණ දුන් අභියෝග සහ මානුෂීය ආධාර ලැබීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමට අදාළ ගැටළු සම්බන්ධයෙන් සවිස්තරාත්මකව කරුණු සාකච්ඡා කරනු ලැබුවා.
මෙහිදී විශේෂයෙන්ම, ඔරුගොඩවත්ත ආපදා සහන ද්‍රව්‍ය ගබඩාවේ සිදුවෙමින් පවතින මෙහෙයුම් පිළිබඳව අවධානය යොමු වූ අතර, කාර්යක්‍ෂමතාව, වගවීම සහ පාර්ශ්වකරුවන්ගේ නියෝජිතායතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම කෙරෙහි ද අවධාරණය කළා.
ඒ අනුව ලැබෙන සහ බෙදා හරින ලද සියලුම සහන සැපයුම් තත්‍ය කාලීනව නිරීක්‍ෂණය කිරීමට හැකි වන විදේශ ආධාර ලුහුබැඳීමේ පද්ධතියේ (Foreign Aid Tracking System) ක්‍රියාකාරිත්වය ද කමිටුව විසින් සමාලෝචනය කරනු ලැබුවා.
එමෙන්ම විනිවිදභාවය සහ ඵලදායී සම්බන්ධීකරණය සහතික කිරීම සඳහා අමාත්‍යාංශ සහ පළාත් පාලන ආයතනවලට නිතිපතා යාවත්කාලීන කරන ලද තොරතුරු සැපයීමේ අවශ්‍යතාවය පිළිබඳව සිහිපත් කළ අතර, ආපදා සහන මෙහෙයුම් විධිමත් කිරීම සඳහා තොරතුරු ඉල්ලා සිටීමට, අදාළ නිලධාරීන් කැඳවීමට සහ නියෝග නිකුත් කිරීමට මෙම විශේෂ කමිටුවට බලය පවරා තිබෙනවා.
මානුෂීය ආධාර කාර්යක්‍ෂමව සහ ප්‍රමාදයකින් තොරව බලපෑමට ලක් වූ ප්‍රජාවන් වෙත ළඟා වන බව සහතික කිරීම සඳහා කාලෝචිත සම්බන්ධීකරණය, නිවැරදි වාර්තාකරණය සහ නියෝජිතායතන අතර අන්තර් සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ වැදගත්කම ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.















