භික්ෂූන් වහන්සේ නමක් බන්ධනාගාරගත කිරීමේ දී චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය දැනුවත් කරමින් අතිවිශේෂ ගැසට් පත්රයක් නිකුත් කර තිබෙනවා.
වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ප්රසාද් හේමන්ත කුමාර විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ අධිකරණ අමාත්යවරයාගේ අනුමැතියට යටත්වයි.
ඒ, අනුව භික්ෂූන් වහන්සේ නමක් සිරකරුවකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී, උන්වහන්සේ එතෙක් ඇඳ සිටි සිවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හරහා අදාළ නිකාය හෝ පාර්ශ්වය දැනුවත් කළ යුතු වනවා.
අදාළ නිකාය හෝ පාර්ශ්වය විසින් සිවුරු ඉවත් කිරීම පිළිබඳව ගන්නා ක්රියාමාර්ග දින 10ක් ඇතුළත බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හරහා බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත දැනුම් දිය යුතුයි.
එම කාලසීමාව තුළ ප්රතිචාරයක් නොලැබුණහොත් බන්ධනාගාර කොමසාරිස්වරයාට අදාළ විධිවිධාන අනුව කටයුතු කළ හැකි බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම සිරගත කෙරුණු භික්ෂූන් වහන්සේ නමක් බන්ධනාගාරයෙන් මුදාහැරෙන අවස්ථාවක, බන්ධනාගාරගත කළ අවස්ථාවේ ඇඳ සිටි සිවුරු එලෙසින්ම ඇඳ සිටීමට අවසර ලබාදිය යුතු වනවා.
කෙසේ වෙතත්, අදාළ නිකායෙන් හෝ පාර්ශ්වයෙන් එලෙස සිවුරු ඇඳ සිටීමට අනුමැතිය ලබා දී නොමැති නම්, බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් අදාළ නියෝග අනුව කටයුතු කළ යුතුයි.
නිකායෙන් හෝ පාර්ශ්වයෙන් ලබාගත යුතු අනුමැතිය සඳහා, බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් සිරගත කළ දිනයේ සිට වැඩ කරන දින හතක් (07) ඇතුළත බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ඒ බව දැන්විය යුතු බව ද අදාළ ගැසට් පත්රයේ සඳහන්.
මේ අතර වෙනත් ආගමකට අයත් පූජකවරයෙකු බන්ධනාගාරගත කිරීමේ දී හෝ මුදාහැරීමේදී ද මෙම නියෝග අවශ්ය වෙනස්කම් සහිතව අදාළ කරගත යුතු බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.










