වීසා නොමැතිව, නීතිවිරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් එරටින් පිටුවහල් කර අද (29) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබෙනවා.
දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ, වීසා නොමැතිව, කුවේට් රාජ්‍යයේ රැඳී සිටිමින්, එරට විවිධ රැකියාවල නිරත වී සිටි මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස, එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිරගෙවල් සහ රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා තබා සිටීමෙන් පසුව, එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ද මැදිහත් වීම මත මෙසේ ආපසු එවා තිබූ බවයි.
මෙම පිරිස කුවේට් රාජ්‍යයේ සිට සාජා නුවර වෙත රැගෙන විත්, එතැන් සිට අද දින අලුයම 04.30 ට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී. 9 – 587 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.
පසුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරී විසින්, ඔවුන්ට සිය ගම් – බිම් බලා යාමට අවශ්‍ය මුදල් ලබා දී පිටත් කර හැරීමට පියවර ගෙන තිබූ බවයි වාර්තා වන්නේ.















