කටුනායක – කොළඹ අතර ධාවනය වන සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ අද (10) දින උදෑසන 07.30 සිට ගුවන් තොටුපොළ වෙත ඇතුළු කර, මගී සේවා පවත්වා ගෙන යාමට අවසර ලබා දී ඇති බව කටුනායක සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති ඉන්දික ගුණසේකර මහතා ප්‍රකාශ කළා.
මෙතෙක් මෙම බස් රථවල ගමනාන්තය කටුනායක, ඇවරිවත්ත නගරය වූ අතර, බස්රථ මගින් ගුවන් තොටුපොළ වෙත පැමිණෙන විදේශීය සංචාරකයන් මෙන්ම දේශීය ගුවන් මගීන් සහ ඔවුන් සමග පැමිණෙන අනෙකුත් පුද්ගලයන්, කිලෝමීටරයකට අධික දුරක්, තම ගමන් මළු සහ අනෙකුත් බඩුබාහිරාදිය සමග ගුවන් තොටුපොළ වෙත දුෂ්කර පා ගමනකින් පැමිණීමට සිදු වී තිබුණා.
නමුත් අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්, තම සංගමයේ බස් රථ කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇතුළු කිරීමට අවසර ලබා දී ඇති බව දැනුම් දුන් බව ද ඉන්දික ගුණසේකර මහතා ප්‍රකාශ කළා.
මෙම තීරණයට තම සංගමය සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා ඇතුළු ඔහුගේ නිලධාරීන් වෙතත්, ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙතත්, බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් වෙතත් සිය ස්තුතිය පළ කරන බවයි ඉන්දික ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ.
තම බස් රථ සංගමය තුළ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ 71 ලියාපදිංචි වී ඇති බවත් , එයින් බස් රථ 24ක් පමණක් දිනපතා පැය 24ක් තුළ කටුනායක – කොළඹ අතර සේවා සපයමින් ධාවනය වන බවත් සභාපතිවරයා පැවසුවා.
ඒ අනුව දිනපතා බස් රථ 47ක් පමණ සේවයෙන් ඉවත් කර පවතින අතර, එම බස් රථ කටුනායක – මාකුඹුර අතර ධාවනය කිරීම සඳහා මගී ජනතාව තමාගෙන් ඉල්ලීම් කර ඇති හෙයින් ඒ සඳහා ද අවශ්‍ය අවසරය තම සංගමය බලාපොරොත්තු වන බවත් හෙතෙම කියා සිටියා.