අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පාසල් සංවර්ධන නිලධාරින් පිරිසක් සහ පොලිසිය අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පොලිස් නිලධාරින් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
අද (02) දහවල් මෙම සිදුවීම සිදු වූ අතර තුවාල ලැබූ පොලිස් නිලධාරින් තිදෙනාගෙන් එක් අයෙකු බරපතළ තුවාල ලැබීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම විරෝධතාව අද පෙරවරු ආරම්භ කෙරුණේ පාසල් සංවර්ධන නිලධාරීන් පිරිස ව ගුරු සේවයට බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍ය මෙන් ම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට බල කරමින්.
මෙහිදී පොදු මාර්ගය හරස් කිරීමේ චෝදනාව මත විරෝධතාකරුවන් තිදෙනෙකු පොලිස් අත් අඩංගුවට ගැනුණා.
එහිදි විරෝධතාකරුවන් තවත් කුපිත වූ අතර ඔවුන් ප්‍රකාශ කළේ; අත් අඩංගුවට ගත් සිය සගයින් යළි මුදාහරින තෙක් රජය සමග සාකච්ඡාවට නොයන බවයි.
මෙම විරෝධතාවට පාසල් සංවර්ධන නිලධාරින් 500කට ආසන්න පිරිසක් එක්ව සිටියා.
පාසල් සංවර්ධන නිලධාරීන් මෙන්ම උපාධිධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ පවතින ගැටලුව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (01) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
එහිදී සංවර්ධන නිලධාරින් ගුරු සේවයට බඳවා ගැනීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇති පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශයන්ට යටත්ව ක්‍රියා කළ යුතු බවටයි අවධානය යොමු ව ඇත්තේ.