වේයන්ගොඩ – වඳුරඹ ප්‍රදේශයේ කැණීමට අදාළ ව පොලිස් විශේෂ කාර්‍යය බලකාය දුන් වාර්තාව අනුව පොළොව අභ්‍යන්තරයේ ඇති ලෝහමය ද්‍රව්‍ය ගැන විමර්ශනයක් කිරීමට පමණක් නියෝගයක් දුන් බව අත්තනගල්ල අධිකරණය පවසනවා.
එම තීන්දුව දුන් මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු මංජුල කරුණාරත්න මහතා අද (26) ඒ බව විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
නමුත් කිසිදු ලෙසකින් තමන් නිධන් හෑරීම පිණිස අවසරයක් හෝ නියෝගයක් ලබා දී නොමැති බවත් අත්තනගල්ල අධිකරණය වැඩිදුරටත් කියා සිටියා.
වේයන්ගොඩ, වඳුරඹ ප්‍රදේශයේ ඉදි වෙමින් ඇති මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ ඇති කොටසක් කැණීමට ලක් කෙරුණේ අධිකරණ නියෝග මතයි.
නමුත් එම කැණීමෙන් ගල් කුට්ටියක් සොයාගැනුණු අතර ඒවා කැබලි කර ඒ පිළිබඳව පරීක්ෂණ කිරීමට පැවරුණා.
එහි නිධන් වස්තු ඇතැයි සැකයක් මතුවීම හේතුවෙන් මෙම කැණීම් සිදු කෙරුණු අතර හොරෙන් කැණීම් සිදු කර නිධානය ගැනීමට උත්සාහ කළ පුද්ගලයින් රැසක් තවමත් ඇත්තේ රක්ෂිත බන්ධනාගාරගතවයි.
මහජනතාව ඉදිරියේ සිදු වුණ මෙම කැණීමට රජයේ රස පරීක්ෂකවරයාගේ ද සහාය ලැබුණා.
මෙම නිධන් ස්ථානය ගැන වාර්තා වූ ආසන්නතම සිදුවීම සැප්තැම්බර් 20 වැනිදා ලැබුණු අතර එහිදි නිධන් වස්තු සොයා මෙම ස්ථානයේ කැණීම් කළ පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
මේ පිළිබඳව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළ අතර, අධිකරණය පසුගිය 11 වැනිදා නියෝග කර ඇත්තේ දින දෙකක් ඇතුළත මෙහි කැණිම් කර අවසන් කරන ලෙසයි.
ඒ අනුව නිධන් වස්තු ඇතැයි සැක කරන විශාල ගල් කුට්ටියක් 22 වැනි දින පස්වරුවේ මේ ස්ථානයෙන් සොයාගැනීමට හැකි වී තිබුණත් එය ගොඩගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ .
එලෙස සොයාගත් ගල් කුට්ටිය තුළ නිධානයක් ඇත්දැයි සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වේයන්ගොඩ පොලිසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ආයතනවල නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම කැණීම් සිදු කෙරුණා.