මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම්.එම්. මිහාල්ගේ ඡායාරූප ඇතුළත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවූ පෞද්ගලික බස් රථ රියැදුරකු ඇතුළු තිදෙනකු ලබන 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබෙනවා.
මාතලේ ඉෂාන් රවිෂ්ක,මඩ පාත මනෝච් මධුසංඛ හා ඇරව්වල ක්‍රිෂාන් නාලක යන සැකකරුවන් අද (12) දින රක්ෂිත බන්දනාගාරගත කළා
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඉකුත් අගෝස්තු මස 28 වැනි දින කොටුව දුම්රිය ස්ථානය අසල, රේගුව ආසන්නයේ, අලුත්කඩේ මහාධිකරණය ආසන්නයේ, පැලවත්ත, බත්තරමුල්ල හා ගල්කිස්ස ආදී ජනාකීර්ණ ප්‍රදේශවල මහාධිකරණ විනිසුරුවරයාට අපහාසයක් වන පරිදි පෝස්ටරයක් සැකකරුවන් විසින් අලවා ඇති බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.
මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට පහරදීම සම්බන්ධයෙන් අධි චෝදනාලත් විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව මන්නාරම මහාධිකරණය මගින් තීන්දුව ලබාදීමට පෙර දින මෙම පෝස්ටර් අලවා ඇති බවද අපරාධ කොට්ටාස නිලධාරීන් සඳහන් කළා.
මහාධිකරණය මගින් අධි චෝදනා ලැබ වරදකරුවන් වූ චූදිතීන්ගේ මිතුරන් යැයි කියන පිරිසක් මෙම අපරාදය මෙහෙයවා ඇති බවට සාක්ෂි ඇති බවත් මෙම සැකකරුවන් විසින් පෝස්ටර් අලවා අදාළ ඡායාරූප අපරාදය මෙහෙය වූ පුද්ගලයන්ට යවා ඇති බවද හෙලිකර ගත් බව අපරාධ කොට්ටාස නිලධාරීන් පෙන්වා දුන්නා.
“ලෝක අධිකරණ ඉතිහාසයේ එක් දිනක් තුළ සාක්ෂි පනස් තුනක් විභාග කරලා.”අධිකරණ සේවා කොමිසම නිදිද?”යනුවෙන් සඳහන් කර ඡායාරූප ද සහිතව පෝස්ටරේ ප්‍රදර්ශනය කර ඇති බව සඳහන් කළ අපරාධ කොට්ටාස නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ, මෙම පෝස්ටරය සම්පූර්ණයෙන් අපහාසයක් බවත් අදාළ මහාධිකරණ නඩුව 2011 වසරේ පවරා,නඩු විභාගය 2021 වසරේ ආරම්භ කර 2024 අගෝස්තු මස 29 වැනි දින තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ නඩුවක් බවත්,අපරාධකරුවන් සිය මිතුරු චූදිතීන්ගේ බලපෑම මත මෙම පෝස්ටරේ අලවා ඇති බවත්ය.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කළ පැමිණිල්ල හා මහාධිකරණ විනිසුරු වරයා ඉදිරිපත් කළ පැමිණිල්ල ප්‍රකාරව තවදුරටත් විමර්ශන සිදු කරන බවත් සඳහන් කළා.
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත, උප පොලිස් පරීක්ෂක චතුරංග නිලධාරියා ඇතුළු නිලධාරීන් කණ්ඩායම් අධිකරණයේ පෙනී සිට තිබුණා.
ප්‍රධාන සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔහු පදිංචි ස්ථානය අතහැර දමා ගොස් ඇති හෙයින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.
පැමිණිල්ලේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරමින් විමර්ශන ප්‍රගතිය 26 දිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළා.