මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාර්ලිමේන්තුව තුළදී නිත්‍යානුකූලව සම්මත වී නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ගොනු කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (20) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළා.
මෙම පෙත්සම අද (20) දින සලකා බැලීම සඳහා ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහි දී අදාල පෙත්සමට මූලික විරෝධතා මතුකළ නීතිපති සංජේ රාජරත්නම්,
“අදාල පනත් කෙටුම්පත ජනවාරි මස 24 වනදා පාර්ලිමේන්තුව විසින් සම්මත කළා. පෙබරවාරි මස 01 වනදා කථානායකවරයා ඊට අත්සන් තබා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80(3) ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුවේ සම්මත කල පනතක නීත්‍යානුකූල භාවය පරීක්ෂා කිරීමට අධිකරණයට බලයක් නෑ.
මෙම නඩුකරය තුළින් අභියෝගයට ලක් කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුත්තක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 67 වන ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත් යටතේ පාලනය වනවා. පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත ප්‍රකාරව පාර්ලිමේන්තුව තුළ සිදුවන විවාද හා අනෙකුත් කටයුතු කිසිදු අධිකරණයක් හමුවේ ප්‍රශ්න කරන්න බෑ. ඊට මුක්තියක් හිමි වී තිබෙනවා. මෙම පෙත්සම පදනම් විරහිතයි. මෙම පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කළ සංශෝධන සියල්ල ඇතුළත් කර තිබෙනවා.” ඒ අනුව මෙම පෙත්සම නීතිය ඉදිරියේ පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බැවින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉන් අනතුරුව පෙත්සම්කාර සුමන්දිරන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ,
” නීතිපතිවරයා මෙම පෙත්සම වැරදි ලෙස වටහාගෙන තිබෙනවා. මේ පෙත්සමෙන් පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර ක්‍රියා පටිපාටිය ප්‍රශ්න කරන්නේ නෑ. අපි ප්‍රශ්න කරන්නේ අදාළ පනත සහතික කිරිමේ දී කථානායකවරයා අනුගමනය කළ ක්‍රියා පිලිවෙත පමණයි. යම් පනත් කෙටුම්පතක් නිසියාකාරව පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙනවා නම් පමණයි කතානායකවරයාට එය සහතික කිරීමට නීතියෙන් බලය පැවරී තිබෙන්නේ. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සාමාන්‍ය බහුතර ඡන්දයකින් සම්මත කිරීමට නම් ඊට සිදුකළ යුතු සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කළා. නමුත් කාරක සභා අවස්ථාවේ දී රජය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කළ සංශෝධන පනතට ඇතුල් කළේ නැහැ. අදාල පනත සහතික කිරීමට පෙර එම සංශෝධන පනතට ඇතුළු කර තිබේදැයි පරීක්ෂා කිරීමේ වගකීම කතානායකවරයා වෙත පැවරී තිබෙනවා. එහෙත් මෙම පනත සහතික කිරිමේ දී කථානායකවරයා එම පරීක්ෂාව සිදු කිරීම පැහැර හැර තිබෙනවා. කතානායකවරයා යම් පනතට අත්සන් තබා සහතික කිරිමේ ක්‍රියාව ව්‍යවස්ථාදායකයට අයත් කටයුත්තක් නොවේ. එය පරිපාලන ක්‍රියාවක්. ජනවාරි මස 26 වනදා සිට පෙබරවාරි මස 07 වනදා දක්වා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබුණා. පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබෙන අවස්ථාවක කථානායකවරයා පනතක් සහතික කරන්නේ කෙසේද?” යනුවෙන් ප්‍රශ්න කළ නීතිඥවරයා අදාළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඊට පිළිතුරු වශයෙන් කරුණු දැක්වූ නීතිපතිවරයා කියා සිටියේ කතානායකවරයා විසින් පනත් කෙටුම්පතක් සහතික කිරීමේ ක්‍රියාවලිය ව්‍යවස්ථාදායකයේ කොටසක් මිස එය විධායක ක්‍රියාවක් නොවන බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබෙන අවස්ථාවක වුවද කතානායකවරයාගේ බලය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් එබැවින් පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබු අවස්ථාවක කතානායකවරයා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සහතික කිරීම නීත්‍යානුකූල බවත් නීතිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තැබුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් සිය පෙත්සමින් කියා සිටින්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සාමාන්‍ය බහුතර ඡන්දයෙන් සම්මත කරන්නේ නම් ඊට සිදු කළ යුතු සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර තිබූ බවයි.
එහෙත් අදාළ පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී විවාදයට ගත් මොහොතේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කළ සංශෝධන පනතට ඇතුළු කිරීම රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවත් එබැවින් අදාළ පනත නිසියාකාරව සම්මත වී නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් එම පෙත්සමෙන් වැඩි දුරටත් ඉල්ලා තිබෙනවා.