යුරෝපා රටවල උසස් අධ්‍යාපනය සඳහා පිටකර යවන බවට පවසා පුවත්පත් දැනවීම් පළකර රුපියල් කෝටි 30 කට අධික වංචාවක් සිදුකළැයි කොළඹ වචා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ එකම පවුලේ පස් දෙනකු ලබන 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා ඊයේ (31) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ එකම පවුලේ සාමාජිකයන් වන දිසානායක මුදියන්සේලාගේ විජේරත්න (පියා), සංඛ ලක්මාල් දිසානායක (පුතා), ඉෂාරා සඳමාලි දිසානායක (දියණිය), වින්ද්‍යයා දිසානායක (දියණිය) සහ කේමින්ද දෙනවක (බෑනා) යන අයවලුන්ය. මෙම සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් දෙදෙනා මුස්ලිම් ජාතික කාන්තාවන් ලෙසින් බුරිකාවකින් සැරසී සිට ඇති බවත් විශේෂ සෝදිසි මෙහෙයුමකින් පසුව ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගත් බවත් කොළඹ වංචා විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
මෙම සිද්ධියට අදාළව පැමිණිලි 108 ක් ලැබී ඇති අතර, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිලි 17 ක් ඇතුළුව කොළඹ අධිකරණ සියල්ල මෙයට අදාළව පැමිණිලි ලැබී ඇති බවට සඳහන් කරමින් මෙම සිද්ධිය අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ කොළඹ වංචා විමර්ශන ඒකක 05 හි ප්‍රධාන පොලිස් පරික්ෂක නුවන් දන්තනාරායන මහතා විසිනි.
ඊ වින් ෆොරීන් එඩියුශන් පුද්ගලික සමාගම, වින් වින් ෆොරින් එඩියුකේන් පුද්ගලික සමාගම, පී වින් ජැපෑන් එඩියුකේෂන් පුද්ගලික සමාගම සහ ඊ වින් ෆොරින් ජැපෑන් එඩියුකේෂන් සමාගම යන නමින් සමාගම් හතරක් පිහිටුවාගෙන ඇති මෙම සැකකරුවන් එහි අධ්‍යක්ෂකවරුන් වශයෙන් කටයුතු කර ඇති බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අධිකරණයට දැනුම් දී ඇත.
මෙම සැකකරුවන් කොළඹ 157 සම්බුද්ධ ජයන්ති බෞද්ධ මන්දිරය ලෙසින් අදාළ සමාගම් හතරෙහි ලිපිනය ලෙස භාවිත කර ඇති අතර එම සමාගම් සියල්ලෝම එකම කාර්ය මණ්ඩලයක් සේවය කර ඇති බවත් සමාගම් හතරේම එකම අධ්යක්ෂ මණ්ඩලයක්, එකම සේවක මණ්ඩලයක් මෙන්ම එකම ලිපිනයක් තිබීම සමාගම් පනත අනුව වරදක් වන බවත් එම කාර්යාංශය අධිකරණයට දැනුම් දී තිබේ.
අදාළ සමාගම් නමින් පුවත්පත් සහ අන්තර්ජාලය මගින් දැන්වීම් පළකරන මෙම සැකකරුවන් එක් අයකුගෙන් රුපියල් ලක්ෂ 20 සිට 50 දක්වා වන මුදල් ලබා ගනිමින් මෝල්ටව සහ පෝලන්තය යන රටවල්වලට අධ්‍යාපනය සඳහා යොමු කරන බවට සඳහන් කර ඇති බවත් එසේ මුදල් ලබා ගැනීමෙන් පසුව තරුණ තරුණියන් ඉන්දියාව, මැලේසියාව, ඉන්දුනීසියාව සිංගප්පූරුව ආදී රටවලට ගෙන ගොස් අතරමං කර දමන බවත් වංචා විමර්ශන ඒකකය බී වාරතා මගින් අධිකරණයට දැනුම් දී ඇත.
මෙම සැකකරුවන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 403, 386 වගන්ති ප්‍රකාරව මෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ 64 (අ), ආගමන විගමන පනතේ 45 ආ (අ) වගන්ති උල්ලංඝනය කර ඇතැයි කොළඹ වංචා විමර්ශන ඒකකය අධිකරණයට සඳහන් කර තිබේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඒ. ජී. ජේ. චන්ද්‍රකුමාර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි කොළඹ වංචා විමර්ශන ඒකකයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රසල් ද සොයිසා, එහි ඒකක 05 ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඇන්ජලෝ ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් පොලිස් පරික්ෂක සිරිසේන, පොලිස් සැරයන් 16889 අධිකාරි, පොලිස් කොස්තාපල් 91869 මධුසංඛ යන නිලධාරිහු අධිකරණයට කරුණු වාරතා කළහ.