කෝටි 6ක මත්ද්‍රව්‍ය රේගු අත්අඩංගුවට (ඡායාරූප)

රුපියල් කෝටි 6ක් වටිනා විෂ මත්ද්‍රව්‍ය තොගයක් සීදුව පිහිටි “කළම්බු කාගෝ ” නැමැති පෞද්ගලික භාණ්ඩ නිශ්කාශන ආයතනය වෙත එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඇමෙරිකාව, ප්‍රංශය සහ කැනඩාවේ සිට කොළඹ ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයන් කීපයක් වෙත කූරියර් පාර්සල් 07ක් ලෙස එවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය අද පස්වරුවේ යි සොයාගෙන ඇත්තේ.

මෙම කූරියර් පාර්සල් 07 තුළ කුෂ් නැමැති ගංජා කිලෝ ග්‍රෑම් 08ක්, මැන්ඩි නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 160ක්, එක්ස්ටැසී පෙති 350ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08ක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

මෙම පාර්සල් මාස දෙකක පමණ කාලයක් අයිතිකරුවන් රැගෙන නොගොස් තිබීම නිසා එම පාර්සල්වල සඳහන් ලිපිනයන් පිළිබඳ සොයා බැලීමේ දී ඒවා ව්‍යාජ ලිපින බවට කරුණු අනාවරණය වීමත් සමගයි මෙම පාර්සල් විවෘත කර පරීක්ෂා කර බැලීමට රේගු නිලධාරීන් තීරණය කර ඇත්තේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට නියමිතයි.