ශ්‍රී ලංකාව කඩිනම් ඩිජිටල්කරණයට රැගෙන යෑමේ අරමුණින් DIGIECON 2030 වැඩසටහන එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම වැඩසටහන රටේ තාක්ෂණික හුවමාරුව, ජාත්‍යන්තර තාක්ෂණික ප්‍රමිතීන් භාවිතයට ගැනීම ඇතුළු අංශ කිහිපයක් මුල්කර ගනිමින් ආරම්භ වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
කෘත්‍රීම බුද්ධි පනත ගෙන ඒම, විශ්වවිද්‍යාලයෙන් පිටවන කලා උපාධිධාරීන් සඳහා ඔවුන්ගේ කැමත්ත මත සය මාසික තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් හඳුන්වාදීම මෙන්ම මෙරට සෑම පුරවැසියකුටම නව ඩිජිටල් හැඳුනුම්පතක් ලබා දීමට ද ඉදිරියේදී කටයුතු කරන බව කනක හේරත් මහතා සඳහන් කළා.
තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මේ බව කියාසිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (13) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත කෘත්‍රීම බුද්ධි පනත ගෙන ඒමට කටයුතු කරනවා. රටේ ඩිජිටල් ආර්ථික නියාමන ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමේ වැඩසටහනක් ද අප අරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකාව කඩිනමින් ඩිජිටල්කරණයකට ගෙන යෑම සඳහා මෙම ඔක්තෝබර් මස මැද සිට නොවැම්බර් මාසයේ මැද දක්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් DIGIECON SRI LANKA 2023 – 2030 වැඩසටහන දියත් කෙරෙනවා. ලෝක බැංකුවේ තාක්ෂණික සහයෝගය ඇතිව මෙය ක්‍රියාත්මක වෙනවා. මෙම වැඩසටහන ප්‍රදර්ශන, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ඇතුළු අංග ගණනාවකින් සමන්විතයි.
එමගින් ඩිජිටල්කරණය අපනයන කේෂ්ත්‍රයට ද හඳුන්වාදීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙහිදී මූලික වශයෙන්ම රටේ තාක්ෂණ හුවමාරුව, ජාත්‍යන්තර තාක්ෂණ ප්‍රමිතීන් භාවිතයට ගැනීමට බලාපොරොත්තු වෙනවා. තාක්ෂණික වෘත්තිකයන්ට ඩිජිටල් NOMAD වීසා වැඩසටහන ආරම්භ කිරීම, විද්‍යුත් ගෙවීම් ක්‍රියාත්මක කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීම DIGIECON – 2023 හි ප්‍රධාන අරමුණු අතර වෙනවා.
ඒ වගේම තොරතුරු තාක්ෂණය, කර්මාන්ත අංශය, අධ්‍යාපන හා පර්යේෂණ අංශ පිළිබඳව ද එහිදී අවධානය යොමු කර තිබෙනවා. රටට ආයෝජන අවස්ථා මෙන්ම තාක්ෂණය හඳුන්වාදීම ද ගෝලීය වැඩසටහනක් වශයෙන් සිදු කෙරෙනවා. මේ සඳහා අදාළ කේෂ්ත්‍රවල කටයුතු කරන ප්‍රවීණයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට ද නියමිතයි.
මීට අමතරව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යටතේ මේ වසර තුළ පාසල් 1000ක් සඳහා ෆයිබර් තාක්ෂණය ලබාදීමට කටයුතු කරනවා. දැනටමත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එම පාසල් දහස හඳුනාගෙන තිබෙනවා. එහි කේෂ්ත්‍ර පරීක්ෂණ ද ආරම්භ කර තිබෙනවා. ඒ වගේම ගමට සන්නිවේදනය වැඩසටහන යටතේ වසර 1½ ක් ඇතුළත සන්නිවේදන තාක්ෂණ පහසුකම මුළු දිවයිනටම ලබාදීමට පියවර ගන්නවා.
එසේම මහජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීමට නව ඩිජිටල් හැඳුනුම්පතක් හදුන්වාදීමට ද නියමිතයි. මෙයට අදාළ අවබෝධතා ගිවිසුම ඉන්දු – ශ්‍රී ලංකා ව්‍යාපෘතියක් වශයෙන් 2022 වසරේ මැයි මස 28 වැනිදා අත්සන් කරනු ලැබුවා. පළමු අදියර වශයෙන් මෘදුකාංග සංවර්ධනය කිරීමට ඉන්දියානු රුපියල් මිලියන 300ක් ලබා දී තිබෙනවා. මෙරට සන්නිවේදන තාක්ෂණික ආයතන මගින් මෙම වැඩසටහන පූර්ණ අධීක්ෂණයට ලක් කෙරෙනවා. තොරතුරු තාක්ෂණ පද්ධතිය මෙරට ස්ථාපිත කිරීම මෙන්ම ඩිජිටල්කරණයේදී හැඳුනුම්පත ද ඉතා වැදගත් වන බව කිවයුතුයි.
මෙම වැඩසටහන ආරම්භ කිරීමෙන් පසු ඉපදෙන සෑම දරුවකුටම අනන්‍යතා අංකයක් ලැබෙනවා. ඒ වගේම අවුරුදු 15ක් වන විට හැඳුනුම්පත ලබා ගැනීමට හැකියාව පවතිනවා. මෙම හැඳුනුම්පත සකස් කරන්නේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූලවයි.
අවුරුදු දෙකක් ඇතුළත මෙරට සෑම පුරවැසියකුගෙන්ම ඊට අදාළ දත්ත ලබා ගැනීමට කටයුතු කරනවා. මේ තුළින් රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සේවාවක් ලබා ගැනීමට යෑමේදී ලිපිගොනු රැගෙන යෑමට අවශ්‍ය වෙන්නේ නැහැ. තම අනන්‍යතා අංකය ඔස්සේ අදාළ සේවා ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම කිසිවකුටත් අනවසරයෙන් දත්ත වෙනස් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
එසේම විද්‍යුත් ගෙවීම් සම්බන්ධයෙන් ද දීර්ඝ කාලයක් තිස්සේ නොයෙක් ආකාරයෙන් ව්‍යාපෘති සිදුවෙමින් තිබෙනවා. රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනවල ද දැනටමත් විද්‍යුත් ගෙවීම් ක්‍රමය ක්‍රියාත්මකයි. විශේෂයෙන්ම ලබන වසරේ මාර්තු මාසය වන විට සියලුම රාජ්‍ය ආයතනවල විද්‍යුත් ගෙවීම් ක්‍රමය සකස් කර අවසන් කිරීම අපේ බලාපොරොත්තුවයි. දැනටමත් මුදල් අමාත්‍යාංශය යටතේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.
මේ වසර අවසන් කාර්තුවේදී රාජ්‍ය ආයතන කිහිපයක නියමු වැඩසටහන් සහ පුහුණු අවස්ථා ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. අක්‍රමිකතා, දූෂණ නතර කිරීමට මේ තුළින් අවස්ථාව හිමි වෙනවා. ඒ වගේම මෙරට විශ්වවිද්‍යාලවලින් පිටවන්නේ බහුතරයක් කලා උපාධිධාරීන්. ඔවුන් සඳහා වෘත්තීය අභිමුඛ සය මාසික පාඨමාලාවක් හැදැරීමට අවස්ථාව සලසා දීමට රජය කටයුතු කරනවා. නමුත් එය සිදු කරන්නේ එම කලා උපාධිධාරීන්ගේ කැමැත්ත අනුවයි.
ඉදිරියේදී සයිබර් අපරාධ වළක්වා ගැනීමේ අරමුණින් සයිබර් ආරක්ෂණ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද කටයුතු කරනවා. දැනටමත් එහි පූර්ව කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ඒ වගේම 2022 වර්ෂයේදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් දත්ත ආරක්ෂණ පනත මගින් ස්ථාපිත කිරීමට යෝජිත “අධිකාරිය” මේ වසරේදී ස්ථාපිත කිරීමට ද රජයේ අවධානය යොමු වී තිබෙනවා.
ව්‍යවසායක කාන්තාවන්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කිරීම හා ඔවුන්ගේ සේවා අවශ්‍යතාව වෙනුවෙන් “සුහුරු ලිය” වැඩසටහන යටතේ මේ වන විටත් කාන්තාවන් 17,000කට ව්‍යවසායක පුහුණුව ලබා දීමට ද රජය පියවර ගෙන තිබෙනවා.