බරපතල මූල්‍ය අර්බුදයක් මැද 2023 වසර ආරම්භ වී මාස දෙකහමාරක කාලයක් ගතවී අවසන්ය.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් ණය මුදල නිකුත්කර ශ්‍රී ලංකාව බේරාගන්නේ කෙදිනකදැයි රට තවමත් බලා සිටී.
රජය නියෝජනය කරන ජනාධිපතිවරයා මෙන්ම ඇමති මණ්ඩලය පෙන්වාදෙන්නේ තම පාර්ශ්වයෙන් IMF වෙතින් ඉදිරිපත් කළ කොන්දේසි සියල්ල ඉටුකර ඇති බැවින්, දැන් ණය මුදල නිකුත් කිරීමේ බාධාවක් නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්ද සිදුකළේය.
මාර්තු 07 වැනිදා පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම පෙන්වාදුන්නේ, IMF ආයතනය සමඟ සිදුකරන ලද සාකච්ඡාවලදී එහි එකඟතාවය ලබාගැනීම පිණිස පූර්වගාමීව සිදුකළ යුතු කාර්ය රැසක් ඉටු කිරීමට සිදු වූ බවයි.
විදුලි මිල ගණන් සංශෝධනය, ඛණිජ තෙල් මිල ගණන් සංශෝධනය, මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම, උද්ධමනය පාලනය කිරීමට පොළී අනුපාත ඉහළ දැමීම, රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණය, සමාජ ආරක්ෂක ජාලය ශක්තිමත් කිරීම, රාජ්‍ය ආදායම වැඩි කරගැනීමට කටයුතු කිරීම, රාජ්‍ය වියදම් පාලනය කිරීම, ඛනිජ තෙල් හා විදුලිබල ක්ෂේත්‍රයන්හි තරඟකාරීත්වය පුළුල් කිරීම ආදී කාර්යයන් රැසක් පූර්වයෙන් කළ යුතු ව තිබූ බවත් ශ්‍රී ලංකාව පූර්වගාමීව සිදුකළ යුතු එම කාර්යයන් මේ වන විට නිම කොට ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
“එසේම මේ රටේ ජනතාවට විඳීමට සිදු වූ අපහසුතා මම දන්නවා. ඒ පිළිබඳ ආණ්ඩුවක් ලෙස අපි සමාව ඉල්ලනවා. අපිට ඊයේ රාත්‍රියේ චීනයේ එක්සිම් බැංකුවේ මූල්‍ය සහතික ලිපිය ලැබුණා. ඒ අනුව එදිනම රාත්‍රියේ මමත්, මහබැංකුවේ අධිපතිතුමත් එකඟතා ලිපිය අත්සන් තබා IMF සංවිධානයට යොමු කළා. දැන් අපේ යුතුකම් ඉටු කර අවසන්. මේ මාසය අවසන් වීමට පෙර, හතරවන සතිය වන විට IMF සංවිධානය සිය යුතුකම ඉටුකරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව අපට ලෝක බැංකුවෙන් සහ ADB වෙතින් පළමු මුදල් වටය ලැබෙනවා.” යැයි ජනාධිපතිවරයා සිය කතාවේදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට අනුව පෙනීයන්නේ අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ සහනය ලබාගැනීම වෙනුවෙන්, රටේ ජනතාවට වර්තමානයේ මුහුණදීමට සිදුව ඇති දැඩි ආර්ථික පීඩාවන් තවදුරටත් අනිවාර්යයෙන් විඳදරාගැනීමට සිදුවන බවයි.
ඒ, අනුව දැන් ජනතාව වසරකට වඩා වැඩි කාලයක් සිය පීඩාවන් දරාගෙන සිටින අතර, මුල්‍ය අරමුදලේ ණය සහනය වෙනුවන් පමණක් මාස 05කට වඩා වැඩි කාලයක් (2022 අප්‍රේල් මාසයේ සාකච්ඡා ආරම්භයේ සිට සලකා බැලුවහොත් මාස 09ක කාලයක්) ජනතාව අසීරුවෙන් වාසය කරති.
ශ්‍රී ලාංකික ජනතාව මේ අසීරුවෙන් මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය කඩිනමින් කළ යුතුව ඇත්තේ සිය ද්විපාර්ශ්වික ණයහිමියන් ලවා මෙතෙක් ලබාගත් ණය වෙනුවෙන් සහනයක්, නැත්නම් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමක් ලබාගැනීමය.
ඒ, වෙනුවෙන් කරන ලද ඉල්ලීම් සලකා බලමින් ඉන්දියාව මේ වන විටත් සිය යුතුකම ඉටුකරමින්, නිල වශයෙන් සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදීමට කැමැත්ත පළකර තිබේ.
ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස්. ජයිශංකර් පසුගිය ජනවාරි මස අගදී මෙරටටම පැමිණ එම සහතිකය ලබාදුන්නේය.
ඊට සමගාමීව ජපානය සහ එක්සත් ජනපදය ඇතුළු රටවල් 22ක සහභාගිත්වයෙන් යුතු ‘පැරිස් සමාජයද’ සිය මූල්‍ය සහතික වෙනුවෙන් කැමැත්ත පළකර ඇත.
වාර්තා සඳහන් කරන ආකාරයට එම සියලු පාර්ශවවල එකඟතාව වන්නේ ශ්‍රී ලංකාවේ ණය වෙනුවෙන් අවම තරමින් වසර 10ක ණය සහන කාලයක් ලබාදිය යුතුය යන්නයි.
කෙසේ වෙතත් එම සියලු සහතිකවලට පසුවත්, IMF සහනය ශ්‍රී ලංකාවට ලබාගත නොහැකි ප්‍රධාන බාධාව එලෙසම පවතින බව පෙනෙන්නට තිබේ.
ඒ, අන් කිසිවක් නොව චීනයයි.
ඉන්දියාව සිය මූල්‍ය සහතිකය ලබාදුන් වහාම චීනය ද ක්‍රියාත්මක වී සිය ආනයන අපනයන බැංකුව හෙවත් එක්සිම් බැංකුව හරහා IMF වෙත ලිපියක් යොමුකළේය.
එම ලිපියේ සඳහන්ව ඇත්තේ එක්සිම් බැංකුවෙන් (චීනයෙන් නොවේ) ශ්‍රී ලංකාව ලබාගත් ණය වෙනුවෙන් 2023 සහ 2024 වසර දෙක වෙනුවෙන් සහනයක් ලබාදීමට කැමැත්තෙන් පසුවන බවයි.
කෙසේවෙතත් මෙය ශ්‍රී ලංකාව හෝ මූල්‍ය අරමුදල චීනයෙන් අපේක්ෂා කරන සහනය නොවේ.
චීනය නිරන්තරයෙන් පවසන්නේ තමන් ශ්‍රී ලංකාවේ ඉතාම කිට්ටු මිත්‍රයෙක් බවය.
එහෙත් මෙම IMF කාරණයේ දී චීනය කිසිදු ආකාරයකින් සිය රජයේ මැදිහත්වීමක් සිදුකිරීමට සුදානම් බවක් පෙන්නා නැත.
එහෙත් මූල්‍ය අරමුදල අපේක්ෂා කරන්නේ චීන රජයේ මැදිහත්වීමකි.
චීන රජය ද අනෙකුත් සියලුම පාර්ශව එකඟවන පොදු ණය සහනයක් වෙනුවෙන් එකඟතාව පළකිරීමය.
එහෙත් ශ්‍රී ලාංකික ජනතාව තවදුරටත් පිඩාවට පත්කරමින් චීනය එකඟ නොවන්නේ ද එයටමය.
ඇත්තෙන්ම මෙම ක්‍රියාවලියේදී චීනය හැසිරෙන ආකාරය ‘මගහැර යෑමේ ආකෘතියකින්’ ක්‍රියාත්මක වන බව හඳුනාගත හැකිය.
ඉන්දීය අනුමැතියෙන් අනතුරුව චීනය කඩිමුඩියේ ලබාදුන් මූල්‍ය සහතිකය, පෙරකී ලෙස ශ්‍රී ලංකාවේ IMF ණය වැඩසටහන වෙනුවෙන් ප්‍රමාණවත් වන්නේ නැත.
මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රීස්ටලීනා ජෝර්ජියේවා එය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර ඇත.
ඒ, අනුව අඛණ්ඩව එල්ල වූ අන්තර්ජාතික පීඩනය මැද චීනය නැවත වතාවක්, තවත් ලිපියක් ශ්‍රී ලංකාවට යොමුකිරීමට කටයුතු කළේය.
ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය කරන ලද්දේ එම දෙවන ලිපිය පිළිබඳවය.
රජය විසින් දේශීය ජනමාධ්‍ය හරහා එම ලිපියට විශාල ප්‍රචාරයක්ද ලබාදුන්නේය.
චීනයේ සම්පුර්ණ අනුමැතිය ලැබී ඇති බැවින්, ශ්‍රී ලංකාවට IMF ණය ලබාගැනීමේ කිසිඳු බාධාවක් දැන් ඉතිරිව නැති බව එම ප්‍රචාරයන්වලදී කියැවිණි.
එහෙත් සැබෑ තත්ත්වය ඊට වෙනස් බව මේ වන විට අනාවරණය වෙමින් තිබේ.
ඊට හේතුව චීනය ලබාදුන් දෙවන ලිපිය, එහි පළමු ලිපියට වඩා විශාල වෙනසකට ලක්කර නොතිබීමයි.
එහි ඇති විශේෂත්වය වන්නේ මෙවර ශ්‍රී ලංකාව වෙනුවට මූල්‍ය අරමුදල ආමන්ත්‍රණය කරමින් ලිපිය යොමුකර තිබීමත්, ‘වෙනත් තත්වයන් කෙරෙහිද අවධානය යොමුකිරීමට’ කැමැත්ත පලකිරීමට හැකියාව පවතින බව සඳහන් කිරීමත් පමණකි.
කෙසේවෙතත් එම වෙනත් තත්ත්වයන්, එනම්, ශ්‍රී ලංකාවේ ණය, දැනට කැමැත්ත පළකර ඇති වසර දෙකකට ප්‍රමාද කර දෙනවා වෙනුවට, වෙනත් ක්‍රමයකට ප්‍රතිව්‍යුහගතකරණය කරදෙන්නේ කෙසේදැයි චීනය එහි සඳහන් කර නොමැත.
එය පැහැදිලිවම, නැවත වතාවක් කල්මැරීමට ගන්නා ලද උත්සාහයක් බව, චීනයේ පසුගිය මාස කිහිපයේ හැසිරීම අනුව හඳුනාගත හැකිය.
එහෙත් ශ්‍රී ලංකා රජය සිදුකරන ලද්දේ, මෙම ලිපියට විශාල ප්‍රචාරයක් ලබාදී, එය මූල්‍ය අරමුදලට යොමුකර, දැන් තම වගකීම් ඉටුකර අවසන් බව නිවේදනය කිරීමය.
පැහැදිලිවම එය ගැටලුව සම්පුර්ණයෙන්ම නිරාකරණය කිරීමට අවශ්‍ය තත්ත්වය නිර්මාණය කරදීමක් නොවේ.
කෙසේ වෙතත් යම් රටක ප්‍රධාන ණයහිමියකු සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදීමට කැමැත්ත නොදක්වන අවස්ථාවකදී, එම රට වෙනුවෙන් ණය වැඩසටහනක් අනුමත කරදීමේ විකල්ප ක්‍රමවේදයක්ද IMF සතුව පවතින බව මෙහිදී සඳහන් කළයුතුය.
පෙනෙන්නට ඇති ආකාරයට ශ්‍රී ලංකාව මෙන්ම චීනයද බලාසිටින්නේ, IMF විසින් එම විකල්පය තෝරාගන්නා තෙක්ය.
එහෙත් ගැටලුව වන්නේ අදාළ රටේ අනෙකුත් සියලුම ණයහිමියන් ‘මගහැර යන’ ණයහිමියා අමතක කර සිය ණය පොදු රාමුවක් යටතේ ප්‍රතිව්‍යුහගතකරණය කරදීමට කැමැත්ත පළකළ යුතුවීමයි.
එහෙත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවමත් එවැනි එකඟතාවක්, අනෙකුත් ණයහිමියන් අතර නැත.
විශේෂයෙන් ඉන්දියාව සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම වෙනුවෙන් වූ මූල්‍ය සහතිකය ලබාදෙමින් නිවේදනය කරන ලද්දේ, මෙම ණය වැඩසටහනේදී ශ්‍රී ලංකාව විසින් සිය සෑම ණයහිමියකු සම්බන්ධයෙන්ම එකම ස්ථාවරයකින් කටයුතු කළයුතු බවයි.
එහි අදහස වන්නේ ශ්‍රී ලංකාව විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණය කෙරෙන පොදු රාමුවක් වෙනුවෙන් සියලුම ණයහිමියන් එකඟකරවාගත යුතු බවයි.
චීනයෙන් ඉදිරියේදී මෙවැනි උපක්‍රමශීලි හැසිරීමක් බලාපොරොත්තු විය හැකි බව ඉන්දියාව මුලසිටම දැනසිටි බව එම ප්‍රකාශයෙන් පැහැදිලිව හඳුනාගත හැකිය.
පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා සඳහන් කර තිබුණේ ලබන අප්‍රේල් මාසයේදී ණය ප්‍රතිව්‍යුහගතකරණය කෙරෙන ආකෘතිය පිළිබඳව සාකච්ඡා ආරම්භ කරන බවයි.
එහිදී චීන සාධකය ගැටළුවක් වීමට නියමිත බව පවතින තත්ත්වයන් විසින් පැහැදිලිවම පෙන්වාදී තිබේ.
ඒ අනුව චීනය විසින් වසර දෙකක කාලයකට පමණක් සිය ඩොලර් බිලියන 07කට වැඩි සිය සම්පුර්ණ ණය ප්‍රමාණයෙන්, ඩොලර් බිලියන 02කට අදාළ පොළිය පමණක් කපාහැරීමට නාමිකව කැමැත්ත පළකිරීම යන කාරණය විසින් ශ්‍රී ලංකාවේ ණය අර්බුදය තවදුරටත් ඉදිරියට රැගෙන යමින් පවතින බව දැකගත හැකිය.