Empty Ad
Empty Ad
 Empty Ad

මෝදිට සහ අදානිට වැ‍ටෙන්නේ බටහිර කකුල් මාට්ටු ද?

ඉන්දියාවේ ධනවතුන් අතර ප්‍රථමයා සහ ලෝක ධනාවතුන්ගේ ලැයිස්තුවේ තෙවන ස්ථානයේ රැඳී සිටි ගෞතම් අදානි ඉලක්ක කර පසුගියදා දැවැන්ත ‘ව්‍යාපාරික ප්‍රහාරයක්’ එල්ලවිය.

අදානි සමූහ ව්‍යාපාරයට එරෙහිව වංචා චෝදනා පවතින බව පවසමින් එම ප්‍රහාරය එල්ල කරන ලද්දේ එක්සත් ජනපද ආයෝජන සමාගමක් විසිනි.

ගෞතම් අදානි එම චෝදනා ප්‍රතික්ෂේප කළ නමුත්, චෝදනාවලින් දින කිහිපයක් ඇතුළත අදානි සමූහයේ සමාගම්වල වෙළඳපොළ වටිනාකම ඩොලර් බිලියන 108කින් පහත බැස තිබේ.

අදානිට ඔහුගේ පුද්ගලික ධනයෙන් ද ඩොලර් බිලියන 48ක් අහිමි වී ඇති අතර, දැන් ඔහු Forbes ධනවතුන් ලැයිස්තුවේ පසුවන්නේ 18 වැනි ස්ථානයේයි.

පෙර කී ලෙස සති තුනකට පෙර අදානි සිටියේ ලොව ධනවත්ම පුද්ගලයන් ලැයිස්තුවේ තෙවන ස්ථානයේ යි.

ඔහුගේ වරාය-බලශක්ති සමූහයේ ප්‍රමුඛතම සමාගම වන අදානි එන්ටප්‍රයිස්හි කොටස්, ජනවාරි 25 වන දින ඉන්දියාවේ මෙතෙක් පැවත් වූ විශාලතම ද්විතියික කොටස් විකිණීමේ දී විකිණීමට නියමිතව පැවැතිණි.

එහෙත් ඊට දිනකට පෙර, එක්සත් ජනපදය පදනම් කරගත් ආයෝජන සමාගමක් වන හින්ඩන්බර්ග් පර්යේෂණ සමාගම විසින්, දශක ගණනක් තිස්සේ කොටස් උච්ඡාවචනය බලපෑම් කිරීම සහ ගිණුම්කරණ වංචා සිදුකිරීම සම්බන්ධයෙන් අදානි සමූහයට චෝදනා කරමින් වාර්තාවක් ප්‍රකාශයට පත් කරන ලදී.

හින්ඩන්බර්ග්, කොටස් වෙළඳපොලේ මිල පහත වැටෙනු ඇතැයි අපේක්ෂාවෙන් සමාගමේ කොටස් මිලට ගැනීම (“short-selling”) සම්බන්ධයෙන් විශේෂකරණය වූ සමාගමකි.

මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් අදානි සමූහය කියා සිටියේ, “තෝරාගත් සාවද්‍ය තොරතුරු සහ කල් ඉකුත්වූ මෙන්ම පදනම් විරහිත චෝදනා රැසක් ද්වේෂසහගතව ගොනුකර” මෙම වාර්තාව නිර්මාණය කර ඇති බවයි.

එහෙත් අදානි සමූහයේ මෙම ප්‍රතිචාරය ආයෝජකයින්ගේ බිය දුරු කිරීමට ප්‍රමාණවත් වූයේ නැත.

වෙළඳපොළ පහත වැටීම අඛණ්ඩව සිදුවන විට අදානි සමූහය කරුණු දක්වමින් පිටු 400කට වඩා වැඩි ප්‍රමාණයකින් යුත් සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කළ අතර, හින්ඩන්බර්ග් හෙළිකිරීම “ඉන්දියාවට සිතා මතා එල්ලකළ ප්‍රහාරයක්” ලෙස ඉන් හඳුන්වා දී තිබුණේය.

ඇත්තෙන්ම මෙම ප්‍රහාරයේ අරමුණ වී තිබුණේ කුමක්ද? මෙය සැබෑ ලෙසම අදානි සමුහයේ වංචා දූෂණ හෙළිදරව් කිරීමේ අරමුණින්ම සිදුවූවක්ද ? නැත්නම් එය යම් නාට්‍යානුසාරී කතාවක එක් ජවනිකාවක්ද? එය හඳුනාගැනීමට නම් ගෙවීගිය සති කිහිපය ඇතුලත ඉන්දියාව සහ බටහිර රටවල් ඇසුරින් ගොඩනැගුණු තත්වයන් පිළිබඳව සැලකිල්ලෙන් බැලිය යුතුව ඇත.

එක්සත් ජනපදයෙන් අදානිට ජනවාරි 25වැනිදා එම ප්‍රහාරය එල්ලවෙද්දී, ඊට සතියකට පෙර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිටද බ්‍රිතාන්‍යයෙන් ඉතාම නිර්ලජ්ජිත ප්‍රහාරයක් එල්ල විය.

ප්‍රහාරය නිර්ලජ්ජිත වන්නේ, එය බ්‍රිතාන්‍යය වැනි ගෝලීය බලවතකුට තරම් නොවන කටයුත්තක් වූ බැවිනි.

බ්‍රිතාන්‍යයේ BBC ආයතනය විසින් නිර්මාණය කරන ලද India The Modi Question නමැති කොටස් දෙකකින් යුත් වාර්තා වැඩසටහනක් ජනවාරි 17 වැනිදා විකාශය කෙරිණි.

මෙම වාර්තා වැඩසටහන මගින් සිදුකර තිබුණේ මුළුමනින්ම පදනම් විරහිත කරුණු උපයෝගී කරගනිමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී හට විශාල අපහාසයක් සිදුකිරීමය.

එය පැහැදිලිවම, ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ නායකයා වන නරේන්ද්‍ර මෝදි කෙරෙහි ලෝක ප්‍රජාව තුළ අප්‍රසාදයක් ජනිත කරවීම ඉලක්ක කරගත් වැඩසටහනක් පමණක් විය.

2002 දී ගුජරාටයේ සිදුවූ හින්දු-මුස්ලිම් කෝලාහලවලට, ගුජරාටයේ උපන්, එවකට ගුජරාටයේ ප්‍රධාන ඇමැතිව සිටි, වර්තමාන අගමැති නරේන්ද්‍ර මෝදි කෙළින්ම සම්බන්ධ වූයේය යන්න ලෝකයට ප්‍රකාශ කිරීම මෙම වැඩසටහනේ ප්‍රධානම අරමුණ විය.

විශේෂිතම කාරණය වන්නේ එවකට ප්‍රාන්තයේ මහ ඇමතිවරයාව සිටියද, නරේන්ද්‍ර මෝදි මෙම කෝලහාලයට කිසිදු සම්බන්ධයක් නොමැති බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙන්ම, එම සිදුවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පසුකලෙක පත්කරන ලද විශේෂ කොමිසමක් විසින්ද තහවුරු කර තිබියදී, BBC ය විසින් මුළුමනින්ම උපකල්පන සහ විවිධ ප්‍රකාශ මත පදනම්ව පමණක් මෙම වැඩසටහන නිර්මාණය කර තිබීමයි.

ඇත්තෙන්ම එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ප්‍රමුඛ බටහිරට එකවරම ඉන්දියාව අප්‍රසාදයට පත්කිර්මට පවතින අවශ්‍යතාව කුමක්ද ? ඊට හේතු කිහිපයක්ම පවතී.

ඉන් ප්‍රධානම හේතුව වන්නේ මෙම වසර ආරම්භ වන විට ඉන්දියාව ගෝලීය ආර්ථික බලවතුන් ලයිස්තුවේ 05වන ස්ථානය දක්වා පෙරටවිත් තිබීමයි.

මීට පෙර ලොව විශාලතම ආර්ථිකයන් අතර 05වන ස්ථානයේ රැඳී සිටියේ බ්‍රිතාන්‍යයි.

දැන් ඉන්දියාව විසින් පසුපසට ඇදදමා ඇත්තේ 1858 සිට වසර 89ක කාලයක් සෘජුවම තමන්ව පාලනය කරන ලද, තවමත් කිරීටයක ආධිපත්‍යය පිළිබඳව විශ්වාස කරන බ්‍රිතාන්‍යයයි.

ඒ අනුව ඉන්දියාවේ පෙරට ඒම බ්‍රිතාන්‍යයට දැනෙන ආකාරය පිළිබඳව අමුතුවෙන් තර්ක කළයුතු නැත.

බ්‍රිතාන්‍යයේ එම වැඩවසම් ශීර්ෂයන්, ඉන්දීය සම්බන්ධතාවක් සහිත අගමැතිවරයෙක් රටට සිටි පමණින් වෙනස් වන්නේද නැත.

ඒ අනුව එකවර එක්සත් ජනපදයෙන් අදානි වෙතත්, බ්‍රිතාන්‍යයෙන් මෝදි වෙතත් ප්‍රහාර එල්ලවීම විශාල පුදුමයක් වන්නේ නැත.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) විසින් පසුගිය සතියේ නිකුත් කළ නවතම ලෝක ආර්ථික දැක්මේ සඳහන් කර ඇත්තේ ඉන්දියාව මෙම වසරේදී (2023දී) සියයට 6.8ක ආර්ථික වර්ධනයක් අත්පත් කරගනු ඇති බවයි.

එසේම මෙම වසරේදී සියයට 05ක පමණ ආර්ථික වර්ධනයක් ලඟාකර ගනු ඇතැයි අපේක්ෂිත චීනය සමග එක්ව, ඉන්දියාව 2023දී ලෝක ආර්ථිකයෙන් අඩක් පමණ පාලනය කරනු ඇති බවත් මූල්‍ය අරමුදල පෙන්වාදී තිබේ.

එපමණක් ද නොව බලවත්ම 05 වන ආර්ථිකයේ සිට 2028 වන විට ඇමරිකා එක්සත් ජනපදයට සහ චීනයට පමණක් පිටුපසින් ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය බවට ඉන්දියාව පත්වනු ඇති බවටද අනාවැකි පළවී ඇත.

මූල්‍ය අරමුදලේ IMF World Economic Outlook දත්ත ගබඩාව පෙන්වාදෙන ආකාරයට ඉන්දියාව එම ජයග්‍රහණය අත්කරගනු ඇත්තේ, කළින් අපේක්ෂා කරන ලද කාලයට(2030) වඩා වසර දෙකකට පෙර වීමද විශේෂත්වයකි.

ඊට අමතරව, පසුගිය වසරේ දෙසැම්බර් 01 වනදා සිට, ඉන්දියාව ලොව ප්‍රබලම G20 සංවිධානයේ සභාපතිත්වය වසරක් සඳහා භාර ගත් අතර, ගෝලීය ආර්ථිකයේ සෞභාග්‍යය සහ වර්ධනය සුරක්ෂිත කිරීම අරමුණු කරගත් රැස්වීම් 200 කට අධික සංඛ්‍යාවක් මෙම වසරක කාලය ඇතුලත ඉන්දියාව සංවිධානය කරනු ඇත.

G20 සභාපතිවරයා ලෙස ඉන්දියාවට ලෝක ආර්ථිකයේ වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට අවස්ථාව ලබාදී ඇත.

එසේම සිය විදේශ ප්‍රතිපත්තියේ ශක්තිමත්භාවය ලොවට විදහාපෑමට ද ඉන්දියාවට මෙම තනතුර හරහා අවස්ථාව උදාවී තිබේ.

ඒ අනුව එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය වැනි සාම්ප්‍රදායික ලෝක බලවතුන් වෙනුවට පෙරදිග ඉන්දියාව ආශ්‍රිතව නව ලෝක බලකේන්ද්‍රයක් නිර්මාණය වෙමින් පවතින බව පැහැදිලිවම දැකගැනීමට ලැබෙන සත්‍යයකි.

බටහිරට අද වන විට දරාගැනීමට අපහසු වී තිබෙන සත්‍යය වන්නේ මෙයයි.

අනෙක් අතට සිය G20 සභාපතිත්වය හරහා, ලෝකයටම හිසරදයක්වී ඇති යුක්රේන යුද්ධය අවසානයක් කරා ගෙනයෑමට සුදානම් බවද ප්‍රදර්ශනය කරමින් සිටී.

විශේෂයෙන් රුසියාවේ කිට්ටු හිතවතකු ලෙස යුද්ධයේදී මැදිහත්කරුවකු ලෙස ඉදිරිපත්වීමට ඉන්දියාවට විශාල අවස්ථාවක් නිර්මාණයවී ඇති අතර ප්‍රංශය සහ ජර්මනිය වැනි බටහිර බලවතුන්ගෙන්ද ඒ සඳහා ආරාධනා ලැබී ඇත.

යම් හෙයකින් ඉන්දියාවට සාධනීය ලෙස යුක්රේන යුද්ධයට විසඳුමක් ලබාදීමට අනාගතයේදී හැකියාව ලැබුනහොත්, ඉන් ලොව නැගෙනහිර අර්ධයේ යෝධයාට ලැබෙන ගෝලීය කිර්තිය සදාකාලික වනු ඇත.

එමනිසා මේ ආකාරයට ඉන්දියාව ඉලක්ක කරගනිමින් එල්ලවන ප්‍රහාර ගැන පුදුමයට පත්විය යුතු නැත.

දැනට බටහිර ජනමාධ්‍ය සහ පර්යේෂණ ආයතන ඔස්සේ එල්ලකෙරෙන ප්‍රහාර ඉදිරියේදී වෙනත් මුලාශ්‍ර හරහාද ඉන්දියාවට අපේක්ෂා කළ හැකිය.

එම ප්‍රහාරවලට මුහුණදීමේදී දැනට පවතින ශක්තිමත් දේශපාලන නායකත්වයට අඛණ්ඩතාවක් ලබාදිය හැකිනම් ඉන්දියාවට අභියෝග හමුවේ පවතින සිය ප්‍රතිශක්තියද ලෝකයට ප්‍රදර්ශනය කිරීමට ඉදිරියේදී හැකියාව ලැබෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?