යුද්ධ හමුදා පස්වන ශ්රී ලංකා සංඥා බලකාය භාවිතා කරන රිපිටර් වර්ගයේ අධි බලති සන්නිවේදන උපකරණ කට්ටලයක් අඩංගු ප්ලාස්ටික් පෙට්ටියක් පිලියන්දල පැලැන්වත්ත ප්රදේශයේ කැලිකසල බහාලන ස්ථානයක දමා ගොස් තිබියදී හමුවූ බව පිළියන්දල පොලිසිය කියයි
තම වෙළඳ සංකීර්ණ ගොඩනැගිල්ලෙ කැලිකසල බහාලීම සඳහා සකස් කර තිබෙන කුඩා කාමරය තුළ කළු පාටට හුරු ප්ලාස්ටික් පෙට්ටියක් තිබෙන බවත් එහි මතුපිට එස්,එස්,එල් එස් සි යනුවෙන් ඉංග්රීසියෙන් ලියා ඇති බවට වෙළඳ සංකීර්ණයේ හිමිකරු 119 පොලිස් හදිසි ඇමතුම් අංශය හරහා ලබා දුන් තොරතුරක් අනුව මෙය සොයා ගත් බව පොලිසිය කියයි
ඒ අනුව එම ස්ථානයට ගිය පිලියන්දල පොලිසියේ නිලධාරීන් එම කළු පාට පෙට්ටියෙ මතුපිටින් සඳහන් කර ඇති ඉංග්රීසි අක්ෂර අනුව එය යුද හමුදාව සංඥා බලකායට අයත් යම් උපකරණයක් බව සැක කර එය විවෘත කර බැලීමේදී ඒ තුළ කොටස් 4කින් යුත් සන්නිවේදන උපකරණ සහ වයර් තිබු බව පොලිසිය කියයි
ඉකුත් ජූලි නම වැනි දින තලංගම පොල්දූව මංසන්ධියේ දී අරගලයට සමගාමීව පැවති උද්ඝෝෂණය අතරතුරදී යුද හමුදාවේ සහ පොලිසියේ ගිනි අවි ඇතුළු දේපල රැසක් අස්ථානගත වී තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය
මෙම අධි බලති සන්නිවේදන උපකරණ කට්ටලයක් එදින අස්ථානගත වූ එකක් බවට සැක කරන බව පොලීසිය කියයි
කිසියම් පුද්ගලයකු මේ රැගෙන විත් මෙපමණ කලක් නිවසේ තබාගෙන එම ස්ථානයට ගෙනත් දමන්නට ඇතැයි සැක කරන බව පොලිස් නිලධාරියා කීය
එම උපකරණ කට්ටලය සම්බන්ධයෙන් යුද හමුදා මූලස්ථානය දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇතැයි ද උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත්,මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේශ් හෙට්ටිආරච්චි මහතා පරීක්ෂණ පවත්වයි














