විදුලිබිල නොගෙවූ මන්ත්‍රිවරන් ගැන හෙළිදරව්වක්

විදුලිබිල ගෙවීම් පැහැර හැර ඇති මන්ත්‍රීවරුන් පිළිබඳ හෙළිදරව් කිරීමට හැකි බවත් එහෙත් ඇතැම් මන්ත්‍රීවරුන් මේ වන විට පාර්ලිමේන්තුව තුළත්, ජීවතුන් අතරත් නොමැති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විදුලිබිල ගෙවීම් පැහැර හැර ඇති මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් හෙළිදරව් කරන්නැයි වාචික පිළිතුරු අපේක්ෂාවෙන් සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

තවදුරටත් ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

හිටපු ඇමැතිවරුන්ගේ බිල්පත්වලින් සියයට 60-70කට වැඩි මුදලක් නැවත අය කර ගැනීමට කටයුතු කරගෙන තිබෙනවා. මේ වසරේ ඔක්තෝබර් මස 01 වැනිදා වන විට විදුලි පාරිභෝගිකයන්ගෙන් රුපියල් මිලියන 25836ක මුදලක් අයවිය යුතුයි.විදුලිබල මණ්ඩලය හා ලංකා විදුලි පෞද්ගලික සමාගම නඩත්තු කරගෙනු යනු ලබන විදුලි පාරිභෝගික දත්ත පද්ධතිය තුළ ප්‍රසිද්ධ හා බලවත් පුද්ගලයන් සම්බන්ධයෙන් වෙනම වර්ගීකරණයක් කරන්නේ නැහැ.

බිල් ගෙවීම් පැහැර ඇති සියලුදෙනාම සමානාත්මතාවයෙන් සලකා බලනවා.අයවිය යුතු හිඟ මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය අදාළ පුද්ගලයන්ට හා ආයතන වෙත ලිඛිත කෙටි පණිවුඩ යැවීම තුළින් දැනුවත් කිරීම් කරනවා.