අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 14 කට අපදා සහන

මේ වනවිට 8129 දෙනෙකු අයහපත් කාලගුණයෙන්ආපදාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නිවාස 7කට දැඩි හානි සහ නිවාස 442කට අර්ධ හානි සිදුව තිබෙන අතර  දිස්ත්‍රික්ක 14 ක ආපදා සහන කටයුතු මේ වන විට  ක්‍රියාත්මකයි.

සහන කටයුතු සදහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන ජනාධිපතිවරයා ලබාදී තිබෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ. මේ අතර ප්‍රදේශ රැසකට තවදුරටත් තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ස්ථානවලට දින කීපයක් තිස්සේ මහ වැසි ඇදහැලෙනවා. ඒ හේතුවෙන් ආපදාවට ලක්වූවන් සදහා සහන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි. 

මේ වනවිට දිස්ත්‍රික්ක 14 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 84 ක සහන කටයුතු ක්‍රියාත්මක බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පවසයි

  ජලය පිරිණු ස්ථානවල  පාරු පැදීම,  බැරල් පැදීම ආදිය සිදු නොකරන ලෙස ජනතාවට අවධාරණය කරන අතර  විශේෂයෙන් දරුවන් පිළිබද විමසිලිමත් වන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියි.

සහන කටයුතු සදහා 117 අංකය ඇමතීමෙන් අවශ්‍ය කටකයුතු සළසාගත හැකි බව ද වැඩිදුරටත් සදහන් වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්