AFC Banner
Empty Ad
Empty Ad

2015 වසරේ ව්‍යවස්ථා සංශෝධනයේ දී සිදු වූ අතපසුවීමට ජනපති සමාව ඉල්ලයි (වීඩියෝ)

2015 වසරේ දී ව්‍යවස්ථා සංශෝධනයේ දී නීතිඥ ජයම්පති වික්‍රමරත්න අතින් සිදු වූ අතපසුවීම සම්බන්ධයෙන් තමා රටේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එමෙන්ම 1931 සර්ව ජන ඡන්ද බලය හිමි වූ දින සිට අඛණ්ඩව ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන එකම රට ශ්‍රී ලංකාව බව ද ජනාධිපතිවරයා සඳහන් කරනවා.

කොතරම් වාද විවාද සිදු වුව ද කිසිවිටෙක රටේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීමට ඉඩ නොතැබූ බව පැවසූ ජනාධිපතිවරයා රටක් ලෙස ඒ පිළිබඳ ආඩම්බර විය යුතු බව ද සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ගාල්ල, බෙලිගහ ප්‍රදේශයේ ඉදිකළ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (19) එක් වෙමින්.

ගාල්ල ප්‍රදේශයේ ජනතාවගේ යුක්තිය පසිඳලිමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් රුපියල් මිලියන 1600ක් වැය කරමින් ඉදිකෙරුණු මෙම නව අධිකරණ සංකීර්ණය සිවිල් අභියාචන මහාධිකරණයක්, මහාධිකරණ දෙකක්, දිසාධිකරණ තුනක්, මහේස්ත්‍රාත් අධිකරණ දෙකක්, නීති ආධාර මධ්‍යස්ථානයක්, ප්‍රජා විශෝධන කාර්යාලයක් , පරිවාස කාර්යාලයක් , ණය සහනදායි මණ්ඩලය සඳහා කාර්යාලයක් ඇතුළු අධිකරණ කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

“මෙම අධිකරණ සංකීර්ණ ගොඩනැඟිල්ලේ කටයුතු අවසන් කිරීම පිළිබඳ මාම විජයදාස රාජපක්ෂ ඇමතිතුමාට ස්තූතිවන්ත වෙනවා. සංචාරක කලාපයක් ලෙස එම ප්‍රදේශය සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බැවින් පැවති අධිකරණ සංකිර්ණය හැකි ඉක්මණින් මෙතනින් ඉවත් කරන ලෙස මෙම දැනුම් දුන්නා. අද එම කටයුත්ත සිදු කර තිබෙනවා.
ගාල්ල ප්‍රදේශයේ සංචාරක කලාපයක් ලෙස ගොඩනැඟීමේ දී මෙම පළාතෙන් පිට විශාල හෝටල් ඉදිකිරීම සඳහා අප ඉඩම් හඳුනාගෙන තිබෙනවා. ගමනාගමන මණ්ඩලය, දැව සංස්ථාව සහ මහමෝදර රෝහලත් ඒ වගේම හෙද විදුහල, බන්ධනාගාරය සහ තැපැල් කාර්යාලයත් නගර මධ්‍යයට ගෙන යාමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම හික්කඩුව ප්‍රදේශයේත් මෙවැනි අධිකරණ සංකිර්ණයක් ඉදිකිරීමට අප සැලසුම් කර තිබෙනවා.
ගාල්ල දිසා අධිකරණ සංකීර්ණය මේ රටේ ඉතිහාසයේ කොටසක් බව කිව යුතුයි. ඕලන්ද පාලනයෙන් පසු බතාවියානු ප්‍රකාශය මඟින් ලංකාවේ රෝමානු ලන්දේසි නීතිය ක්‍රියාත්මක කළා. රෝම ලන්දේසි නීතිය ක්‍රියාත්මක කරන විට මේ ගාල්ල ප්‍රදේශය අධිකරණ බල ප්‍රදේශයක් බවට පත් වුණා. මෙහි අධිකරණ මණ්ඩලයක් සහ සිවිල් මණ්ඩලය හා ඉඩම් මණ්ඩලයක් ද පත් කළා. අපේ අධිකරණ ක්‍රියාවලිය ආරම්භ වුණේ මේ ආකාරයටයි. ඒ අනුව ගාල්ල අධිකරණ ප්‍රදේශය මාතර දිසාව, ගාල්ල වශයෙන් කොටස් දෙකක් ලෙස පැවතුණා. කෙසේ වුවත් අධිකරණ කලාපයක් ලෙස තවමත් ඒ අයුරින් ක්‍රියාත්මක වන්නේ ගාල්ල දිස්ත්‍රික්කය පමණයි.
මේ අතර ඉඩම් මණ්ඩලයේ බහුතරයක් සිටියේ ඕලන්ද ජාතිකයන්. ඉතිරි සුළුතරය රුහුණේ සිටි ලාංකිකයන්. ශ්‍රී ලාංකිකයන් නීතිය ඉගෙන ගත්තේ එතනින්. පසුව ඉංග්‍රීසි සමයේදී මෙම පිරිස නීතිඥවරුන් ලෙස ඉදිරියට පැමිණියා. එතැන් සිට ලාංකිකයන් බොහෝ පිරිසක් නීති ක්ෂේත්‍රය තුළ කටයුතු කළා. ඒ වගේම නීතියේ සිට ව්‍යවස්ථාදායක සභාවට පැමිණියා. ඒ අනුව ව්‍යවස්ථාදායක ක්‍රමයේ පදනම බවට පත් වූණේ නීතිඥයන්. ඉන්පසුව සර්වබල ඡන්ද බලය හිමි වූ නිසා ඩොනමෝර් ක්‍රමය යටතේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සේවය කළා. ඉන්පසුව සෝල්බරි ව්‍යවස්ථාව මඟින් ඉංග්‍රීසි ක්‍රමය ඇති වුණා. ඉන්දියාව වෙනම ජනරජ ව්‍යවස්ථාවක් ගෙන එන විට අප ඉංග්‍රීසි ක්‍රමය ලබා ගත්තා. ඉන්පසුව කොල්වින් ආර්. ද සිල්වා යටතේ පළමු ජන රජ ව්‍යවස්ථාව හදුන්වාදුන් අතර, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා දෙවන ජන රජ ව්‍යවස්ථාව ඉදිරිපත් කළා. අපට ව්‍යවස්ථා ඉතිහාසයක් තිබෙන අතර නීතිය සමඟ බැඳීමක් සහ ගරු කිරීමක් ද තිබෙනවා.
1931 වසරේ දී ආසියාවේ සහ අප්‍රිකාවේ පළමු වරට සර්ව ජන ඡන්ද බලය ලැබුණේ ශ්‍රී ලංකාවටයි. වෙන කිසිඳු රටකට එය හිමි වුණේ නැහැ. ඇමරිකාවේත් ඇතැම් ප්‍රාන්තවල කළු ජාතිකයන්ට ඡන්දය තිබුණේ නැහැ. එය ලබාගැනීමෙන් පසු අඛණ්ඩව ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කර තිබෙන එකම රට ශ්‍රී ලංකාවයි. අප මේ පිළිබඳ ආඩම්බර විය යුතුයි.
යුද්ධ තිබුණත්, කැරළි තිබුණත් 1931 සිට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ ආසියාවේ සහ අප්‍රිකාවේ එකම රට ශ්‍රී ලංකාවයි. අප කොතරම් වාද කළත්, ප්‍රජාතන්ත්‍රවාදය කැඩෙන්න ඉඩ දුන්නේ නැහැ. මැතිවරණයකින් පරාජය වූ පසු ගැටුමකින් තොරව බලය මාරු කර ගන්නේ ලංකාවේ පමණයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙනවා. වාද විවාද ඇති වුණත්, කිසිවිටෙකත් ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙන්නේ නැහැ.
ඇතැම් ප්‍රශ්න මතු වූ විට ප්‍රජාතන්ත්‍රවාදය නැති වන බව සමහරු කියනවා. අපේ ව්‍යවස්ථායකය, අධිකරණය සහ දේශපාලන ක්‍රමය කෙසේ හෝ මෙම ක්‍රමවේදය ඉදිරියට ගෙන ගොස් තිබෙනවා. මේ අයුරින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ලොකුම තර්ජනය එල්ල වුණේ 2022 වසරේ. නමුත් අප එකඟත්වයෙන් ඉදිරියට යනවා.
අපට පාර්ලිමේන්තුවේ වාද කළ හැකියි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතුයි. දැන් ඉදිරියේදී මැතිවරණය පැවැත්වෙනවා. අගවිනිසුරුතුමා සහ ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා ඡන්දය මෙම කලාසීමාවේදී පැවැත්විය යුතුයි කියලා. අපත් ඊට එකඟයි.
2015 වසරේ අප අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කළා. මම මෙවැනි කටයුතු සාමාන්‍යයෙන් භාර දෙන්නේ කේ. එන් චොක්සි නීතිඥතුමාටයි. නමුත් ඒ වන විට ඔහු ජීවතුන් අතර නොසිටි නිසා ජයම්පති වික්‍රමරත්න නීතිඥතුමාට එම කටයුත්ත භාර දුන්නා. එතුමාට ඒ පළපුරුද්ද නොතිබූ නිසා එක වාක්‍යයක් ඉවත් කිරීමට නොහැකි වුණා. එපමණයි සිදුව තිබෙන්නේ. මේ කෑ ගහන්නේ ඒකට. එය එතුමාගෙන් සිදු වූ අතපසුවිමක්. එම අතපසුවීම ගැන රටේ ජනතාවගෙන් මම සමාව ඉල්ලනවා. ඒ, ගැන තවත් ප්‍රකාශ සිදු කිරීම අවශ්‍ය නැහැ. ඒ නිසා මේ පිළිබඳ බය වෙන්න එපා. අපේ රට 1931 සිට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර තිබෙනවා. ඒ වගේම මෙම ගාලු ඉතිහාසයේ උරුමය පිළිබඳ ග්‍රන්ථයක් සම්පාදනය කිරීමට කටයුතු කරනවා නම් ආණ්ඩුවෙන් ඒ සඳහා මුදල් ලබා දෙන බව ද ප්‍රකාශ කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?