කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ඉන්දීය ගමන් බලපත්‍ර භාවිතා කරමින් අබුඩාබි නුවර ඔස්සේ ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනෙකු ඊයේ (25) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ ( Imigration and Emigration Boarder Surveillance Unit ) නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් යාපනය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සහ 28 හැවිරිදි වියේ පසුවන ද්‍රවිඩ ජාතික තරුණයන් දෙදෙනෙක්.
සැකකරුවන් ඊයේ රාත්‍රී 09.45 ට අබුඩාබි නුවර බලා පිටත්ව යාමට නියමිත ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 397 දරන ගුවන් යානය වෙත පිවිසීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
එසේ පැමිණි ඔවුන් ගුවන් මගීන් රැඳී සිටින අංගනයේ රැදී සිටියදී, ඔවුන්ගේ අස්වාභාවික හැසිරීම් රටාව නිරීක්ෂණය කළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ඔවුන් කැදවා ප්‍රශ්න කරමින්, ඔවුන්ගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී ඒ තුළ වූ කූඨ ලෙස සකස් කළ ඉන්දීය ගමන් බලපත්‍ර දෙක සහ ව්‍යාජ ඉතාලි වීසා බලපත්‍ර දෙකක් ද සොයා ගෙන තිබෙනවා.
මෙසේ සොයා ගත් ලියකියවිලි සියල්ල දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් තාක්ෂණික පරීක්ෂා කිරීම්වලට ලක් කිරීමෙන් පසු, ඒවා කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ඒවා බවට අනාවරණය වී තිබෙනවා.
ඉන්පසුව මොවුන් දෙදෙනා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.





