විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම යන චෝදනා යටතේ හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 16 වනදා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
එම නඩුවේ සාක්ෂි විභාගය අද (15) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී රජයේ නීතිඥවරියගේ මෙහෙයවීම යටතේ මෙම නඩුවේ පැමිණිලිකරු වන ඔෂල හේරත්ගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණා.
ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 16 වනදා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළා.
2016 වසරේ ජුලි මස 14 වන දා සිට 2020 වසරේ නොවැම්බර් මස පළවනදා අතර කාල සීමාව තුළ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම සහ විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍යය තොරතුරු ලබාදීම තුළින් ආගමන හා විගමන පාලක පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයාගේ උපදෙස් මත චෝදනා හතක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු රාජ්‍ය ඇමතිනියට එරෙහිව මෙම නඩු හතක් වෙන් වෙන්ව ගොනු කර තිබෙනවා.















