ප්‍රබල අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තාට අධිකරණ සංකීර්ණයේ දී වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගත් මේ වනවිට (15) අතුරුදන් ව සිටින සැකකාර ඉෂාර සෙව්වන්දිගේ සහෝදරයා ව අද පස්වරුවේ මවගේ අවමංගල්‍යයේ අවසන් කටයුතු සඳහා නිවස වෙත රැගෙන ආවා.
දැඩි පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ සැකකාර තරුණයාව කටුවැල්ලේගම පිහිටි ඔහුගේ නිවස වෙත ගෙන ආ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
සැකකරුට මාංචු දමා ගෙන ආ අතර, ඔහුට මවගේ අවසන් කටයුතු සඳහා පාංසුකූල අවස්ථාවට ද එක්වීමට බන්ධනාගාර නිලධාරීන් ඉඩකඩ ලබා දුන්නා.
ඉන් අනතුරුව යළිත් විශේෂ කාර්‍යය බලකාය, පොලිස් නිලධාරීන්ගේ හා බන්ධනාගාරයේ මැදිහත් වීම මත බන්ධනාගාර බස් රථයෙන් සැකකාර තරුණයාව රක්ෂිත බන්ධනාගාරයට ගෙන ගියා.
පසුගිය 11 වැනිදා ඉෂාර සෙව්වන්දි අතුරුදන් වීම හා ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිරගත කර සිටි ඉෂාර සෙව්වන්දිගේ මව වන එස්. ඩී සමන්ති නමැත්තිය හෘදයාබාධයක් හේතුවෙන් සිර මැදිරියේ දී ම ජීවිතක්ෂයට පත් වුණා.





