සුනාමි රළ හේතුවෙන් පැරෑලිය ප්‍රදේශයේ දී සිදුවූ දුම්රිය අනතුර සිහිපත් කරමින් ධාවනයවන ‘සුනාමි දුම්රිය’ අද (26) පෙරවරු 6.50ට කොළඹ කොටුවේ සිට ගමන් ආරම්භ කළා.
කෙසේ වෙතත් සුනාමි රළ හේතුවෙන් අනතුරට ලක්වූ දුම්රියේ එන්ජිම මෙවර ධාවනයට එක්කර නොතිබූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එම එන්ජිමේ සිදුව ඇති කාර්මික දෝෂයක් හේතුවෙන් අද (26) දිනයේ මෙම සංකේතාත්මකව ධාවනය සඳහා එය එක් කිරීමට නොහැකි වූ බව සඳහන් කළ දුම්රිය දෙපාර්තමේන්තුව, වෙනත් එන්ජිමක් යොදා ගනිමින් එම දුම්රිය ධාවනය කිරීමට කටයුතු කළ බව පැවසුවා.
මෙතෙක් කලක් ධාවනය කළ දුම්රිය එන්ජිම, දිවයිනට බලපෑ ආපදා තත්ත්වය සමඟ කොළඹට රැගෙන ඒමට නොහැකිව මඩකලපුව දුම්රිය ස්ථානයේ නවතා තිබූ බවත්, මඩකලපුව – කොළඹ දුම්රිය මාර්ගය යළි පිළිසකර කර අවසන් කළ පසු එම එන්ජිම කොළඹට රැගෙන ඒමට කටයුතු කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
එලෙස රැගෙන ආ දුම්රියේ ඇක්සලයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය අලුත්වැඩියා කටයුතු සඳහා යොමුකර ඇති බවත්, මේ වනතෙක් එම අලුත්වැඩියා කිරීම් කටයුතු අවසන් කර ගැනීමට හැකිව නැහැ.
ඒ, අනුවයි වෙනත් දුම්රිය එන්ජිමක් යොදාගෙන සංකේතාත්මක ‘සුනාමි දුම්රිය’ අද දිනයේ ධාවන කිරීමට දුම්රිය බලධාරීන් කටයුතු කර ඇත්තේ.














