ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හි බොන්ඩායි වෙරළ තීරයේ යුදෙව් ආගමික උත්සවයක් ඉලක්ක කර ගෙන වෙඩි ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරුවන් දෙදෙනා පකිස්ථාන ජාතිකයන් වන පියෙකු සහ පුතෙකු බව ඕස්ට්‍රේලියානු බලධාරීන් හඳුනාගෙන තිබෙනවා.
වයස අවුරුදු 50 ක් වන සජිඩ් අක්‍රම් එම ස්ථානයේදීම මිය ගියා.
ඔහුගේ පුත් 24 හැවිරිදි නවීඩ් අක්‍රම් වෙඩි වැදීමෙන් බරපතළ තත්ත්වයෙන් රෝහල් ගත කර සිටිනවා.
සජීඩ් අක්‍රම් 1998 දී ශිෂ්‍ය වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණි පාකිස්තාන ජාතිකයෙක් වන අතර ඔහුගේ පුතා, නවීඩ් ඔස්ට්‍රේලියාවේ දී උපත ලබා තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ ඒබීසී ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ සිඩ්නි කේන්ද්‍ර කරගත් අයි එස් ජාලය සමඟ ඔහුගේ සබඳතා හේතුවෙන් රටේ බුද්ධි සේවය නවීඩ් අක්‍රම් ගැන වසර හයකට පෙර විමර්ශනය කළ බවයි.
කෙසේ වෙතත්, ඔහු ක්ෂණිකව තර්ජනයක් සිදුකල හැකි පුද්ගලයෙකු ලෙස ඕස්ට්‍රේලියානු බුද්ධි අංශ මේ වනතෙක් හඳුනාගෙන සිට නැහැ.
දෙදෙනාම ත්‍රස්තවාදී කණ්ඩායමට පක්ෂපාතීත්වය ප්‍රකාශ කර ඇතැයි විමර්ශකයින් විශ්වාස කරන බව ප්‍රවෘත්ති වාර්තාවේ දැක්වුණා.
ඔවුන්ගේ මෝටර් රථයේ තිබී ඉස්ලාමීය රාජ්‍ය ධජයක් සහ පුපුරණ ද්‍රව්‍ය ද සොයා ගනු ලැබුවා.
පියා සහ පුතා පවුලේ සාමාජිකයින්ට පවසා ඇත්තේ ඔවුන් ධීවර ගමනක් යන බවයි.
සජිඩ් අක්‍රම්ට ගිනි අවි බලපත්‍රයක හිමිකරුවෙක් වන අතර ඔහු සතු ගිනි අවි 6ක් වෙඩි තැබූ ස්ථානයේ සහ නිවසේ තිබී සොයා ගත් බව පොලිසිය පැවසුවා.
මෙම වෙඩි තැබීමෙන් මිය ගිය ගණන 16ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මිය ගිය පිරිස අතර දස හැවිරිදි දැරියක ද සිටිනවා.















