සර්පයෙක් දෂ්ට කළ තම මව කරේ තබාගෙන වනාන්තර මාර්ගයක් හරහා කිලෝමීටර් 05ක පමණ දුරක් ඇවිද ආ දියණියක් පිළිබද හදකම්පා කරවන පුවතක් ඉන්දියාවේ ඔඩීෂා හි කන්දමාල් ප්‍රදේශයෙන් වාර්තා වනවා.
නිසි මාර්ගයක් නොමැතිවීම හේතුවෙන් අදාළ දියණියට මෙලෙස සිය මව කරේ තබාගෙන පයින්ම රෝහලට ගමන් කිරීමට සිදුව තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ එලෙස රෝහල් ගත කළ මවගේ ජීවිතය බේරාගැනීමට නොහැකි වී ඇති බවයි.
රෝහල් ගතකිරීම ප්‍රමාදවීම නිසා ප්‍රතිකාර ප්‍රමාද වීම හේතුවෙන් එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ කාන්තාව සිකුරාදා රාත්‍රියේ නිවසේ නිදා සිටියදී සර්පයෙකු දෂ්ට කර ඇති අතර, පවුලේ අය වහාම 108 ගිලන් රථ සේවාව ඇමතූ නමුත් වාහන ධාවනය කළ හැකි මාර්ග නොමැති නිසා ගිලන් රථයට අදාළ ස්ථානයට පැමිණීමට හැකි වී නැහැ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට ගිලන් රථයට ළඟා විය හැක්කේ ඔවුන්ගේ ගමේ සිට කිලෝමීටර් අටක් දුරින් පිහිටි සරමුන්ඩි ප්‍රදේශය දක්වා පමණයි.
වෙනත් විකල්පයක් නොමැති වූ බැවින්, රාජනි නැමැති දියණිය තම මව ඇගේ කරේ තබාගෙන කිලෝමීටර් පහක් රළු කැලෑ මාර්ගයක් හරහා සරමුන්ඩි වෙත ඇවිද ගොස් තිබෙනවා.
එතැන් සිට ඇය ගිලන් රථය පැමිණි ස්ථානයට ළඟා වීමට තවත් කිලෝමීටර තුනක් යතුරුපැදියකින් ගොස් ඇති බව සඳහන්.
අනතුරුව ඇයව ගිලන් රථයෙන් තුමුඩිබන්ද් හි සෞඛ්‍ය මධ්‍යස්ථානයට ගෙන ගොස් ඇති අතර, පසුව බලිගුඩා උප-ප්‍රාදේශීය රෝහලට මාරුකර යැවීමෙන් පසු එම කාන්තාව මියගොස් තිබෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු, කාන්තාවගේ පවුලේ ඥාතීන් ඇඳක් මත මළ සිරුර තබාගෙන ඔවුන්ගේ නිවසට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.





