රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයට වර්තමාන නායකත්වය ලබාදෙන කණ්ඩායම, වෛද්‍ය නිලධාරීන් සංගමයට කළු පැල්ලමක් එක් නොකර පදනම් විරහිත වැඩ වර්ජනය අත්හැර සේවයට වාර්තා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස දැනුම් දෙනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
අමාත්‍යවරයා පැවසුවේ පදනම් විරහිත අසාධාරණ හේතු මුල්කරගෙන මෙම වැඩ වර්ජනය රටට කරන බරපතළ අසාධාරණයක් සහ ජනතාවට සිදුකරන බරපතළ ද්‍රෝහීකමක් බවයි.
මෙහිදී වැඩිදුරටත් දහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, රජයේ වෛද්‍යවරුන් මෙලෙස වර්ජනයට පදනම් කරගත් හේතුව අවසන් බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයින පුරා රෝහල්වල ආරම්භ කළ වැඩවර්ජනය අද (10) දෙවන දිනටත් ක්‍රියාත්මක වනවා.
පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීමේ ලබාදීමේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය තමන් සමඟ ඇතිකරගත් එකඟතා කඩකළ බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (09) පෙරවරු 8.00ට දිවයිනපුරා රෝහල්වල වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.
ප්‍රකාශයට පත්කරන ලද පත්වීම් ලැයිස්තුව වහාම ඉවත් කර ගැටලුවට විසඳුමක් ලබාදෙන තුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.













