AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සම් දෙකක්

අග විනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරුවරු පත් කිරීම වළක්වාලමින් ජනාධිපතිවරයා වෙත නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය වෙනස් කිරීම හෝ ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සම් දෙකක් ගොනුකර තිබෙනවා.

පූජ්‍ය දඹර අමිල හිමියන් සහ ආචාර්ය මහීම් මෙන්ඩිස් යන අය විසිනුයි මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ.

නීතිඥ එස්. සම්පත් විජේවර්ධන මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් යොමු කළ නිර්දේශයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහි ව නීතිඥවරයෙකු විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ බවයි.

එම පෙත්සම විභාග කිරීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය; අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශය කිරීම වළක්වාලමින් ජනාධිපතිවරයා වෙත ඉකුත් අප්‍රේල් මස 30 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන බවත් පෙත්සම්වල සඳහන් වෙනවා.

මෙම අතුරු තහනම් නියෝගය තුළින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විධායකයේ බලතලවලට මැදිහත් වී තිබෙන බව සඳහන් කරමින් ඇතැම් පුද්ගලයින් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී විවිධ ප්‍රකාශ සිදුකර ඇති බවත් ඒ තුළින් ඉහළ සහ පහළ අධිකරණවල විනිසුරුවරුන් විවේචනයට ලක් කර ඇති බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

විශේෂයෙන්ම අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, සුසිල් ප්‍රේමජයන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යන මහත්වරු විසින් පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශ තුළින් පහළ අධිකරණවල විනිසුරුවරුන් සහ අධිකරණ සේවා කොමිසමේ කටයුතු දැඩි ලෙස විවේචනයට ලක් කර ඇති බවත් පෙත්සමේ කියා තිබෙනවා.

මේ හරහා ඇතැම් පුද්ගලයින් අධිකරණයට පවතින ගෞරවය හෑල්ලු කිරීමට කටයුතු කර ඇති බවත් මෙවැනි ප්‍රකාශ හේතුවෙන් අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය වීමේ තත්ත්වයක් උද්ගත වී තිබෙන බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව තමන්ට මෙම පෙත්සම් විභාගයට මැදිහත්වීමට අවසර දෙන ලෙසත් මේ වන විට නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝග වෙනස් කිරීමට හෝ ඉවත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් අතරමැදි පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?