රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.
හිටපු ජනාධිපතිවරයා මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත්තේ වෛද්‍ය උපදෙස් මතයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.
ඒ, හිටපු ජනාධිපතිවරයා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඊයේ (22) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ධුර කාලයේදී රජයේ මුදල් භාවිත කරමින් පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සහභාගිවීමට ලන්ඩන් නුවරට යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළා.
ඒ, අනුව එම විමර්ශන වලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (22) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දී ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.
අනතුරුව ඔහු ඊයේ පස්වරුවේ අධිකරණය වෙත ඉදිරි පත් කළ අතර, පැය 07කට ආසන්න කාලයක් පැවති නඩු විභාගකින් අනතුරුව කොළඹ කොටුව මෙහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සහ සැකකාර රනිල් වික්‍රමසිංහ ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් අධිකරණය හමුවේ පෙනී සිටියා.
මෙරට ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ පළමු අවස්ථාව සහ රක්ෂිත බන්ධනාගාර ගතකළ පළමු අවස්ථාව මෙය වනවා.















