AFC Banner
Empty Ad
Empty Ad

වේල්ලවීදියේ දමා ගිය බුත්තල S.I ගේ කෙරුවාවන් සියල්ල එළියට

කෙටිකාලීන රැකියා කිහිපයකම නිරතවෙමින් ආර්ථිකය සරිකර ගන්නට උත්සාහ කළ යසෝධා අවසන් වරට කඩුවෙල ප්‍රදේශයේ ජංගම දුරකථන හා උපාංග අලෙවි ස්ථානයක ප්‍රවර්ධන නිලධාරිනිය වශයෙන් සේවය කළාය. ඇයගේ මවට හදිසියේ ඇතිවූ ස්නායු ආබාධයක් නිසා මව ඔත්පල වීමත් සමඟ රැකියාවට සමුදුන් ඇය, මව රැකබලා ගැනීමට ගියාය. කාලයක් පුරාම තරුණසේවා සභාව හා විවිධ ස්වේච්ඡා සංවිධාන මෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයන් හා එක්ව කටයුතු කළ යසෝධා, මවගේ අසනීපය මැද වුවද ශ්‍රීපාදස්ථානයට යන මාර්ගයේ අම්බලම් පවිත්‍ර කිරීමේ සමාජ සත්කාරක කටයුත්තක් සඳහා යාමට ඇවැසි බව කියා තිබුණේ පෙබරවාරි අගදීය.

ආදරණීය මවට හා එකම සහෝදරයාට මේ බව පවසා තවත් හිතවතුන් කිහිප පොළක් සමඟ ශ්‍රීපාද ගමනට එක්වන බව දන්වා ඇය නිවෙසින් පිටත් වූවාය. ඒ පෙබරවාරි 27 වැනිදා පෙරවරුවේය. 

බුත්තල පොලීසියේ කොරෝනා මර්දන කටයුතු බාර වී තිබුණේ උප පොලිස් පරීක්ෂක ප්‍රේමසිරි ඇතුළු පිරිසක් වෙතය. රාජකාරි කටයුතු කොතෙකුත් තිබියදී සිය මවගේ තුන් මාසේ පින්කම වෙනුවෙන් බව පවසා ප්‍රේමසිරි දින හයක නිවාඩුවක් අනුමත කොටගෙන තිබිණි. හිතමිතුරන්ට නිවෙසට යන බව කියූ ප්‍රේමසිරි පොලීසියෙන් පිටත් වූයේ ද පසුගිය 27 වැනිදා උදේ වරුවේය.

ශ්‍රීපාද අඩවියට යනවා යැයි කී යසෝධා ඒ ආසන්නයටවත් ගියේ නැත. එහෙත් කොහේ හෝ මඟක ඇය රැඳී සිටියේ තවත් කෙනකු පැමිණෙන තෙක්ය. මවගේ තුන් මාසේ දානයට ගෙදර යන බව කී ප්‍රේමසිරි ද සිය නිවෙස පැත්ත හෝ නොබලා දුරගමන් බස් රථයක නැගුණේය. කාට කාටත් මුසා බස් පවසා ගමනකට ගිය යසෝධා හා ප්‍රේමසිරි කොතැනක හෝ අතරමඟකදී මුණගැසුණාහ. ඒ බව නම් දන්නා හඳුනන කෙනකුගේ නෙත ගැටී තිබුණේ නැත.

එදින රාත්‍රිය වන තෙක් සිය නැගණියගෙන් දුරකථන පණිවුඩයක් හෝ නොවූයෙන් යසෝධාගේ සොහොයුරා දුරකථන ඇමැතුමක් ලබාගෙන තිබුණි. එහෙත් ඊට ප්‍රතිචාර නොදැක්වූ ඇය රාත්‍රී 10ට පමණ දුරකථන ඇමැතුමක් ලබාගෙන කියා තිබුණේ ඇය හා හිතවතුන් පිරිස එරත්නේ රැඳී සිටින බවය. අනතුරුව ඇගෙන් කිසිදු ඇමැතුමක් හෝ හෝඩුවාවක් ලැබී නැත. මේ අතර කාලයේ යසෝධා හා ප්‍රේමසිරි යුවළ හංවැල්ල ප්‍රදේශයේ ලැඟුම්හලක නැවතී තිබුණේ කාටත් හොර රහසේය. එහෙත් එම නැවතීම රටක් ලොවක් කළඹන අපරාධයක තෝතැන්න බව ඔවුන් දැන ඉන්නට නැති හැඩය.

එළඹ තිබුණේ මාර්තු පළමු වැනිදාය. රටම අවුළුවන පුවතක් රූපරාමු සහිතව රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයන්හි මුලින්ම විකාශය විය. ඒ තරමට ඊට ලබා දී තිබුණේ ප්‍රමුඛස්ථානයකි. එම ප්‍රවෘත්තිය හරහා අනාවරණය කළේ තරුණියකගේ හිස රහිත මළසිරුරක් ගමන් බෑගයක දමා තිබියදී පිටකොටුව ආසන්න වේල්ලවීදිය ප්‍රදේශයේදී හමුවූ බවය. කාගේත් සිත් සසල කළ ප්‍රවෘත්තිය අතරමැද ප්‍රදර්ශනය කළ එම මාර්ගය අසල තිබූ සී.සී.ටී.වී කැමරා දර්ශනයකි. එහි දක්නට ලැබු‍ණේ මළසිරුර අඩංගු ගමන් බෑගය බවට අනුමාන කළ හැකි බෑගය හැඩිදැඩි පිරිමියකු විසින් මඟ දිගේ ඇදගෙන යන ආකාරයකි. සිදුවීම සම්බන්ධයෙන් වේල්ලවීදිය පොලීසිය කඩිනම් විමර්ශන ආරම්භ කර තිබුණේ ඒ අනුවය. සැකකරු ගමන් බෑගය සහිතව මාර්ග අංක 143 හංවැල්ල – පිටකොටුව බස් රථයකින් පැමිණ ගෑස්පහ හන්දිය ප්‍රදේශයෙන් බැස යන බව දකින්නට ලැබෙන සී.සී.ටී.වී දර්ශන හඳුනා ගන්නේ මේ ආකාරයටය.

බුත්තල පොලීසියෙන් නිවාඩු ලබා ගිය උප පොලිස් පරීක්ෂකවරයා මේ ප්‍රවෘත්තිය දැක තිබුණේ එදින රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අතරතුරය. ඒ වන විට ඔහු රැඳී සිට තිබුණේ බඩල්කුඹුර සිය නිවෙසේය. මේ අතර කාලයේ හංවැල්ල ප්‍රදේශයේ නවාතැන් සපයන හෝටලයක කළමනාකාරීත්වය දැඩි කලබලයකට පත්ව සිටියේය. හේතුව පෙර කී ප්‍රවෘත්ති විකාශය අතර පෙන්වූ සැකකාර පුද්ගලයා ඊට පෙර දෙදිනක් පමණ එම හෝටලයේ කාමර අංක 106 තුළ තරුණියක හා නවාතැන් ගෙන සිටිනු මතක් වීමෙනි. මේ කාලය තුළදී අදාළ හෝටලයට ලැබුණු දුරකථන ඇමැතුමකි. එහිදී ප්‍රශ්න කර තිබුණේ 27 වැනිදා හෝටලයට පැමිණ ගිය අයකුගේ නම නාමලේඛනයෙන් මකා දැමීමට හැකිද? යන්නය. එය නොහැකි බව දැන්වූ පසුව ප්‍රේමසිරි වන තමා හෝටලයට පැමිණි වගක් හෝ පොලීසියට නොදන්වන ලෙස කියා දැඩි තර්ජනයක් එල්ල කර ඇතැයි කියති.

27 වැනිදා රාත්‍රී 10ට පමණ නවාතැන්පොළට පැමිණ තිබූ ප්‍රේමසිරි තරුණියක හා නවාතැන් ගෙන සිටියේය. තරුණිය හා එක් වතාවක් මෙන්ම සැකකරු දෙවතාවක් පමණ තනිව කාමරයෙන් පිටතට ගිය බව කළමනාකාරීත්වයට මතක තිබිණි. අවසන් වරට පළමුවැනිදා පෙරවරු 10ට පමණ සැකකරු විශාල ගමන් බෑගයක් රැගෙන යන ගමන් නවාතැන්පොළ ගාස්තුව ලෙස රුපියල් 4,100ක මුදලක්ද ගෙවා පිටව ගොස් ඇතැයි පැවසේ.. එහෙත් ඔහු සමඟ ගත කළ කාන්තාව පිටව යන බව ස්ථිර වශයෙන් දුටු බව මතක තිබී නැත.

කාන්තාවගේ කවන්ධ සිරුර පිළිබඳ විමර්ශනය කරන පොලීසිය සැකකරු පැමිණි බස් රථය හඳුනාගෙන එහි රියැදුරු හා කොන්දොස්තරවරයාගෙන් ප්‍රශ්න කර තිබිණි. ඔවුන් කියා තිබුණේ හංවැල්ල බස් නැවතුමේදී අදාළ පුද්ගලයා විශාල ගමන් බෑගයක් සහිතව බස් රථයේ පසු අසුනක හිඳගෙන පැමිණි බවය. බස් රථ නැවතුම්පොළ දක්වා ඔහු ගමන් බෑගය ත්‍රීරෝද රථයකින් රැගෙනවිත් තිබූ බව හෙළිකර ගැනුණේ ඉන් අනතුරුවය. ඒ අනුව හඳුනාගත් ත්‍රීරෝද රථයේ රියැදුරු කියා තිබුණේ තමා වෘත්තීය රියැදුරකු නොවන බවය. පහළ හංවැල්ල ප්‍රදේශයේදී සැකකරු ත්‍රීවිලරය නවත්වා එහි නැගුණු බවත් විශාල ගමන් බෑගයක් රැගෙන ආ බවත් කියා තිබිණි. ඒ ප්‍රකාශය හරහා කියැවී තිබුණේ සැකකරු අදාළ හෝටලය අසල සිට පැමිණි බවකි. තරුණිය හෝටල් කාමරයේදී ඝාතනය කර හිස සිරුරෙන් වෙන්කර ගමන් බෑගයක අසුරා වේල්ලවීදියට ගෙනවිත් දමා ඇති බවට අනුමාන කරමින් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පැමිණ වැඩිදුර විමර්ශන ඇරඹුවේ එම තොරතුරු අදාළ කර ගනිමිනි.

සැකකරු කාමරයෙන් පිටව යාමට පෙර එකී බිම සෝදා පවිත්‍ර කොට ඇති බව මනාව පෙනිණි. එබැවින් විශේෂ රසායන ද්‍රව්‍යයක් භාවිතයෙන් හඳුනා ගැනුණේ තැන් කිහිපයක ලේ පැල්ලම් ඉතිරි වී ඇති බවකි. ඒවා ටයිල් කැට කිහිපයක වැසිකිළි වතුර බහින ස්ථානයක, වතුර රඳන බේසමක හා කොමඩ් හැඬලයක වශයෙන් හඳුනාගෙන තිබුණි. හිස රහිත මළසිරුරේ තැලුම් තුවාල කිහිපයකි. ඒ නිසා පහරදීමෙන් ඝාතනය කළ බව සැකයකි. ඉන් පසුව හිස සිරුරෙන් වෙන් කරන්නට ඇති බවත් එය කොමඩය මත තබා සිදුකිරීමේදී ගලන ලේ ඒ වෙත බැස යන්නට ඇති බවද හෙළි කර ගැනුණි.

විමර්ශන අතරතුර තවත් සී.සී.ටී.වී දර්ශනයක් හංවැල්ල නගරයේ ව්‍යාපාරික ස්ථානයකින් ලැබී තිබුණි. ඊට අනුව 1 වැනිදා පෙරවරු 9ට පමණ එම ස්ථානයෙන් විශාල ගමන් බෑගයක් රු. 6,250ක් ලබා දී රුගෙන යන බවත් නිරීක්ෂණය වී ඇත. ඒ අතර සැකකරු හංවැල්ල පොළෙන් පිහියක් මිලට ගෙන කඹයක් මිලට ගැනීමට සෙවූ බවට තොරතුරු ලැබී ඇත. ඒත් සමඟ කාන්තාවගේ යටඇඳුම් අඩංගු ඇඳුම් බෑගයක් හංවැල්ල නගරයේ දමා තිබියදී හමුව තිබිණි. සිදුවීම පිළිබඳ සැකයෙන් තොරතුරු දැනගැනීමට ආ යසෝධාගේ අයියා එම ඇඳුම් සිය සොයුරියගේ බවට තහවුරු කර තිබිණි.

ඝාතනයට ලක්වූ තරුණියගේ සහෝදරයා ප්‍රභාත් ජයසූරිය නැමැති කුරුවිට ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකි. ගමන් බෑගය රැගෙන යන සැකකාර ඝාතකයා ඔහු හොඳින් හඳුනන හිටපු ඇමැති ආරක්ෂකයෙකි. රුව මෙන්ම හෝටලයේ සටහන් කළ නම හා ලිපිනයෙන්ද ඒ බව හඳුනා ගැනිණි. දින ගණනාවකට පෙර තරුණියගේ සහෝදරයාට ලැබුණු දුරකථන ඇමැතුමකි. කාන්තාවක් කතා කර කියා තිබුණේ තමා ප්‍රේමසිරි නැමැති පොලිස් නිලධාරියාගේ අක්කා බවය.

සහෝදරයා විවාහකයකු බවත් දරුවන් තිදෙනකු සිටින පියකු බවත් කී ඇය යසෝධා නැමැත්තිය සිය සොහොයුරා හා නටන නාඩගම නවත්වන්නට උපදෙස් දෙන ලෙසද දන්වා ඇත. ඒ වන තෙක් මේ පිළිබඳව හාංකවිසියක් හෝ නොදැන සිටි ඔහු නැගණියගෙන් ඒ බව විමසා සිටියේය.

“අනේ අයියේ නාකි මිනිහෙක් එක්ක මඟුල් නටන්න මට පිස්සු නෑ..” යැයි ඇය පෙරළා කියා තිබුණි. එය විශ්වාස කළ සොහොයුරාටත් මවටත් යළිත් මුසා වදන් පවසා ශ්‍රීපාද ගමනක් ගැන කියා නිවෙසින් ගිය යසෝධාගේ ඝාතකයා සොයා පොලිස් කණ්ඩායමක් ඔහුගේ නිවෙසට ගොස් තිබුණි. ඒ බව දුටු ප්‍රේමසිරි නිවෙසේ පසුපස දොරෙන් පලා ගොස් කැලෑවට වැදී සැඟවී ඇත. ඒ අතරතුර නිවෙසේ මේසයක් මත ලියා තැබූ ලිපියක් බිරියට හමුවී තිබුණි.

“අම්මා.. මට සමාවෙන්න මගේ ජීවිතේ මගේ පණ මගේ පවුල. මොන දේ කළත් මට එක දුන්නේ පවුලට.” යනුවෙන් කරුණු රාශියක් එහි විය. ඝාතකයා ගමන් බෑගය රැගෙන යන ගමනේ ඔහුගේ පිටේ තවත් බෑගයකි. එය අතරමඟක හමු නොවූයෙන් බිරියගෙන් ප්‍රශ්න කර ඇත. ඇය කියා තිබුණේ කිසිදු බෑගයක් නිවෙසට රැගෙන ආවේ නැති බවකි. එම බෑගයේ ඝාතනය කළ කාන්තාවගේ හිස තිබෙන්නට ඇති බව සැක කරන පොලීසිය තවත් සැක කරන්නේ එම බෑගය හංවැල්ල ප්‍රදේශයේදී කැලණි ගඟට දමන්නට ඇති බවය. එබැවින් එය සොයා පොලිස් කිමිදුම් අංශ නිලධාරීහු පිරිසක් ගඟ දෙපස විමර්ශන සිදු කරමින් සිටිති.

සැකකාර ඝාතකයා බුත්තල පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකි. 51 හැවිරිදි ඔහු කොස්තාපල්වරයකු ලෙස සේවයට එක්ව පොලිස් බොක්සිං සංචිතය නියෝජනය කළ අයෙකි. ඇමැති ආරක්ෂක කොට්ඨාසයට එක්ව තිබෙන ඔහු මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂකයකු ලෙස කටයුතු කර ඇතැයි පැවසේ.

ඝාතනයට ලක්වූ දිලිනි යසෝධාගේ සොහොයුරු ප්‍රභාත් ජයසූරිය කුරැවිට ප්‍රාදේශීය සභාවට තරග කළ අයෙකි. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ප්‍රබල ආධාරකරුවෙකි. එබැවින් රැස්වීම් හා දේශපාලන කටයුතු සඳහා යසෝධාගේ නිවෙසට ආ ගිය අවස්ථා බොහෝය. සෑම ගමනකටම ආරක්ෂක අංශයේ සේවය කළ උප පොලිස් පරීක්ෂක ප්‍රේමසිරි ද පැමිණියේය. මේ අතර කාලයේ ප්‍රේමසිරි හා යසෝධා අතර යම් හිතවත්කමක් ගොඩනැගෙන්නට ඇතැයි ඥාතීහු විශ්වාස කරති.

ඒ දිනවලදී ප්‍රභාත්ට හා නැගණියට දුව පුතා වශයෙන් ප්‍රේමසිරි ආමන්ත්‍රණය කළ බවද යසෝධා ප්‍රේමසිරි නැමැත්තාට අන්කල් යනුවෙන් ආමන්ත්‍රණය කළ බවද පවුලේ ඥාතීහු පවසති. එහෙත් දෙදෙනා අතර පෙම් පලහිලව්වක් ඇති බව දැන නොසිටි අතර පසුගිය දිනක ප්‍රේමසිරිගේ පවුලේ කාන්තාවක ලෙස ලබාදුන් දුරකථන ඇමැතුමකින් කී කතාව තම නැගණිය ප්‍රතික්ෂේප කළ බවද ප්‍රභාත් ජයසූරිය මහතා පැවසීය. පසු දිනක ඔහු දැනගෙන ඇත්තේ ප්‍රේමසිරිගේ සහෝදරියක ලෙස ඇමැතුම ලබාගත් තැනැත්තිය ප්‍රේමසිරිගේ තවත් අනියම් බිරියක් බවය.

මේ ආකාරයේ තොරතුරු අනුව ප්‍රේමසිරි නැමැත්තාගේ චරිතය යහපත් එකක් නොවන බවට පැහැදිලි වේ. සිදුවීම සම්බන්ධයෙන් බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ ප්‍රේමසිරිගේ නිත්‍යනුකූල බිරිය කී කතාවලින්ද එම කාරණය මනාව පැහැදිලි වේ. ඇයගේ කතාවෙන් වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ මියගිය යසෝධා නැමැත්තිය වරෙක සිය නිවෙසට පැමිණ ඇති බවකි. ඒ සිය සැමියා හා තවත් තරැණියක කැටුවය. පසුව ප්‍රේමසිරිගේ දියණියත් සමඟ දියඇල්ලක් නැරඹීමට ගිය බවත් ඇය හා අනියම් සබඳතාවක් ඇතැයි සැක සිතී එය නවත්වන ලෙස උපදෙස් දුන් බවද කියති.

එහෙත් හිතුමතේට නොමගට ගිය ප්‍රේමසිරි ස්ත්‍රීලෝලියකු වී කාන්තාවන් ගණනාවක් ඇසුරු කළ බව කියැවේ. ඝාතනයට ලක්වූ යසෝධා සම්බන්ධයෙන්ද යහපත් තත්ත්වයක් වාර්තා වන්නේ නැත. දෙදෙනාට දෙන්නා පිළිබඳ තොරතුරැ දැන දැනම පවත්වාගෙන ගිය අනියම් සබඳතාව යම් ගැටලුවක් හමුවේ මෙසේ අවසන් වී තිබේ.

පොලීසිය නිවෙසට එන බව දැක නිවෙසින් පලා ගිය ප්‍රේමසිරි විෂ වර්ගයක් පානය කර සිය කලිසමෙන් ගෙල වැළලාගෙන මැරී සිටියදී ප්‍රදේශයේ ගැමියන් දැක පොලීසියට දන්වා ඇත. 

ඝාතනය කළ යසෝධාගේ සිරුරේ හිස කොටස අතුරුදන්ව තිබීම නිසා සිරුර තවමත් ඥාතීන්ට බාර දී නැත. එය බාර කිරීමට ළඟම ඥාතීන්ගේ ඩී.එන්.ඒ පරීක්ෂණයක් සිදු කළ යුතුව ඇත. එසේම ප්‍රේමසිරිගේ මළසිරුර සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය. යසෝධාගේ ඝාතනය හා අතුරුදන් හිස කොටස සෙවීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකය.

සමන්ත ප්‍රදීප් විල්තෙර

උපුටා ගැනීම “දේශය” පුවත්පතෙන්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?