දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු දෙකක් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ අද (19) කැඳවනු ලැබුවා.
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එම ආයතනයට කුලී පදනම මත වාහන මිලදී ගැනීමේදී සිදුකළ අවිධිමත් ක්‍රියාවලින් රජයට පාඩු කළේ යයි චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩු දෙක ගොනු කර තිබෙනවා.
මින් එක් නඩුවක් කැඳවූ අවස්ථාවේදී විත්තියේ සාක්ෂි කැඳවීම සිදුවූ අතර ඒ යටතේ විත්තිකාර සරණ ගුණවර්ධ විත්ති කුඩුවේ සිට අධිකරණයට ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.
එහිදී සරණ ගුණවර්ධන ප්‍රකාශ කළේ යුදමය වාතාවරණය පැවති අවස්ථාවේ තමන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ බවත් එම වකවානුවේ ලොතරැයි අලෙවිය පහත වැටී තිබූ බවයි.
ලොතරැයි අලෙවිය නගා සිටුවීම සඳහා නව ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සිදුවූ බවත් ඒ සඳහා මෙම වාහන කුලී පදනම මත ලබා ගැනීමට සිදුවූ බවත් ඔහු සඳහන් කර සිටියා.
මෙම ක්‍රියාවලියේදී කිසිදු ආකාරයක අක්‍රමිකතාවක් සිදු නොවූ බවත් ඔහු පවසා සිටියා.
ඉන් අනතුරුව එම නඩුව යළි ජනවාරි මස 26 වැනිදා කැඳවීමට නියෝග කළා.
මේ අතර සරණ ගුණවර්ධන මහතාට එරෙහිව ගොනු කර තිබූ තවත් නඩුවක් දෙසැම්බර් මස 16 වැනි දා කැඳවීමටද නියෝග කෙරුණා.




