Empty Ad
Empty Ad
AFC Banner

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ගෙන යන වැඩපිළිවෙළ ජනපතිගේ ඇගයීමට

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ගෙන යන වැඩපිළිවෙළ මෙරට රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හේතු වී ඇති අතර ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරන සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුළු සියලුදෙනාට තම කෘතඥතාව පිරිනමන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ වාර්තාවලට අනුව 2019 සහ 2020 වර්ෂවල ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකරගත් ආයතන 65ක් සඳහා රන් සහ රිදී සම්මාන පිරිනැමීමේ උත්සවයට සහභාගී වෙමින්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ හා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභභාගිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම උත්සවය පැවැත්වුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ හරිත ආර්ථිකයක්, ඩිජිටල්කරණය සහ නව්‍යකරණය සමඟ ආර්ථිකය ඉදිරියට ගෙන යාම පැරණි ක්‍රමවේද අනුව සිදු කළ නොහැකි බවයි.

එහිදී සියලු රාජ්‍ය ආයතන එක අරමුණක් සහ එක් සැලැස්මක් ඔස්සේ එකම ඒකකයක් ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ඔහු අවධාරණය කළා.

එසේම රාජ්‍ය වියදම් පාලනය, සෑම රුපියලකටම උපරිම වටිනාකමක් ලබාගැනීම, ආදායම් ඉහළ නංවා ගැනීම සහ රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කර ගැනීම යන මූල්‍ය වැඩපිළිවෙළ ඔස්සේ රට ඉදිරියට ගෙන යා යුතු බවත්, ඒ සඳහා ශක්තිමත් පරිපාලන යාන්ත්‍රණයක් රටට අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා.

තවද ශක්තිමත් ආර්ථිකයක් ඇති කර ගැනීම වෙනුවෙන් කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට (RCEP) ඇතුළත්වීම මෙන්ම ඉන්දියාව සමග පවතින සබඳතා පුළුල් කර ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබුවා.

එසේම මෙහිදී අදහස් දැක්වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා, ජයග්‍රහණ ලබාගත් සියලුම රාජ්‍ය ආයතනවලට සුබපැතුම් එක් කළ අතර 2015 වසරට වඩා අද වන විට රාජ්‍ය ආයතනවල සියයට 98කට වැඩි ප්‍රමාණයක විශාල ප්‍රගතියක් දක්නට ලැබෙන බව සඳහන් කළා.

මෙහිදී රාජ්‍ය, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල පොදු ගිණුම් තැබීමේ ක්‍රම, මූල්‍ය පාලනය සහ කාර්ය සාධනය පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් සකස් කර, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරනු ලබන පරිගණක ජාලගත ක්‍රමය මගින් වාර්ෂිකව ඇගයෙන අතර, ඒ අනුව විගණකාධිපතිවරයා විසින් විශ්ලේෂණය හා විමර්ශනය කර, සිදු කළ ඇගයීම් අනුව ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන මෙලෙස සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

ඒ අනුව, රාජ්‍ය ආයතන 833ක් ඇගයීමට ලක් වූ අතර, 2019 වසරේදී ඉන් තෝරාගත් ආයතන 15ක් වෙත රන් සම්මාන සහ ආයතන 30ක් වෙත රිදී සම්මාන ද, 2020 වර්ෂයේදී තෝරාගත් ආයතන 15 ක් වෙත රන් සම්මාන සහ ආයතන 30ක් වෙත රිදී සම්මාන බැගින් සමස්ත සම්මාන 90ක් පිරිනැමීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

රජයේ අමාත්‍යාංශ, රජයේ දෙපාර්තමේන්තු, රජයේ විශේෂිත වියදම් ඒකක, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පළාත් සභා අරමුදල්, පළාත් අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු/විශේෂිත වියදම් ඒකක, පළාත් සභා ව්‍යවස්ථාපිත ආයතන, මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන අංශ යටතේ මෙම සම්මාන පිරිනමනු ලැබුවා.

8වැනි පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සංකල්පයකට අනුව රජයේ ආයතනවල මූල්‍ය හා කාර්ය සාධනය ක්‍රමවත් කිරීමේ අරමුණින් රාජ්‍ය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇගයීමේ පරිගණක ජාලගත වැඩසටහන 2015 මුදල් වර්ෂය පදනම් කරගෙන 2016 වර්ෂයේදී ආරම්භ කළේය.

මෙම සම්මාන ප්‍රදානෝත්සවය සඳහා Zoom තාක්ෂණය ඔස්සේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා යටතේ පවතින ආයතන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන 1000 කට අධික ප්‍රමාණයක් සම්බන්ධ වීම ද සිදු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?