රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ යුක්රේන ආක්‍රමණයට එරෙහිව රුසියාව ඇතුළු තවත් රටවල විරෝධතා ආරම්භ වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රුසියානු රජය විරෝධතාකරුවන් 1,400ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවය.
ශ්‍රී ලංකාවේ රැඳීසිටින යුක්රේන සංචාරකයින් ද රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව සාමකාමී විරෝධතාවයක් සිදු කර තිබුණි.ඒ අද කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිටදීය.
මේ අතර අමෙරිකාව විසින් තවත් 7,000ක හමුදා භට පිරිසක් ජර්මනියට යැවීමට පියවර ගෙන ඇති අතර නේටෝ සන්ධානයේ කොටසක් වන එස්තෝනියාව, ලැට්වියාව සහ ලිතුවේනියාව යන පැරණි සෝවියට් සමූහාණ්ඩුව වන බෝල්ටික් කලාපය වෙත ඇමරිකානු හමුදා සාමාජිකයින් 800 දෙනෙකු ගෙන් යුත් පිරිසක් ස්ථාන ගත කිරීමට පියවර ගෙන තිබේ.
රුසියාවේ යුද ශක්තිය අඩපණ කිරීම සඳහා සයිබර් ප්‍රහාරයක් දියත් කිරීමේ වැදගත්කම අමෙරිකානු ආරක්ෂක අංශ ජනාධිපති ජෝ බයිඩන් වෙත යෝජනා කර තිබේ.
එහිදී අමෙරිකානු ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීම මගින් රුසියානු හමුදාවන්ට අවශ්‍ය අතිරේක පහසුකම්, භට පිරිස් ප්‍රමාද කරවීම, රුසියාවේ දුම්රිය සේවය ඇතුළු ප්‍රවාහන කේෂ්ත්‍රය සහ විදුලිබල පද්ධතිය අඩපණ කළ හැකි බවය.
කෙසේ වුවද මෙම සයිබර් ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා මෙතෙක් අවසන් නියෝගයක් ලබාදී නැතැයි අමෙරිකා පුවත් ආරංචි මාර්ග වාර්තා කරයි.




