ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ නිවැරදි තීන්දු තීරණ හේතුවෙන් සහල් ආනයනය කිරීමට රජය වැය කළ ඇමරිකානු ඩොලර් මිලියන 350ක පමණ මුදල රටට ඉතිරි කර ගැනීමට හැකි වූ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
එසේම පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමේ අරමුණින් වසර 20ක් පැරණි පාරිභෝගික අධිකාරිය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
රජයේ බදු සහන ලබාගෙන ජනතාවට භාණ්ඩ මිල අඩුවීමේ සහනය ලබා නොදෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නොවන භාණ්ඩ නිෂ්පාදනය කරන සමාගම්වලට එරෙහිව ද ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
ඉදිරියේදී මෙරට අලෙවි කරන සෑම භාණ්ඩයකම උපරිම මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය බවත්, එසේ නොකරන සමාගම්වලට හා නිෂ්පාදකයන්ට එරෙහිවත් නීතිමය පියවර ගන්නා බවත් නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.
වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (22) ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා….
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය භාර ගන්නා අවස්ථාවේදී රට විශාල අර්බුද රැසකට මුහුණ දෙමින් තිබුණා. එවැනි අවස්ථාවක තමයි එතුමා මට රටේ ජනතාවට ඉතා සංවේදී අමාත්‍යාංශයක් භාර දුන්නේ. රට තුළ ඇතැම් ආහාර තිබුණේ දින දෙක තුනකට පමණයි. කෘෂිකර්මාන්තයේ තිබූ කඩාවැටීමත් සමඟ ඉතිහාසයේ කිසි දිනෙක සිදු නොවුණු ආකාරයට පිටරටින් හාල් ආනයනය සඳහා පියවර ගැනීමට සිදුව තිබුණා. පසුගිය රජයේ පොහොර ප්‍රතිපත්තිය නිසා ආහාර අර්බුදයට සෘජු බලපෑමක් එල්ල වුණා. නමුත් ජනාධිපතිවරයා ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදීමේ වැඩපිළිවෙළ යළිත් නිසි පරිදි ක්‍රියාත්මක කළා. ඒ ආකාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ නිවැරදි තීන්දු තීරණ හේතුවෙන් ඉදිරියේදී සහල් ආනයනය කිරීමට සිදුවන්නේ නැහැ. සහල් ආනයනය කිරීමට වැය කළ ඩොලර් මිලියන 350ක පමණ මුදලක් රටට ඉතිරි කර ගැනීමට එමඟින් හැකියාව ලැබී තිබෙනවා. එලෙස ඉතිරි වන ඩොලර් ප්‍රමාණය යොදාගෙන ජනතාවට අත්‍යවශ්‍ය වන භාණ්ඩ ආනයනය කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා.
මේ වන විට භාණ්ඩ ආනයන ක්‍රමවේදය නිසි පරිදි ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ආනයනයකරුවන්ට අවශ්‍ය ණයවර ලිපි නිකුත් කිරීම ශක්තිමත් වී තිබෙනවා. වෙළෙඳ පොළ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් වූ නමුත් බඩු මිල අඩු වෙලා නැත්තෙ ඇයි කියලා ජනතාව අහනවා. දෙසැම්බර් මස වන විට ආහාර උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ඒමට හැකියාව ලැබෙයි කියා අප විශ්වාස කරනවා. 2022 වසරේ පැවති භාණ්ඩ මිලට වඩා අද වන විට භාණ්ඩ මිල පහළ ගොස් තිබෙනවා. උදාහරණයක් විදිහට රුපියල් 314 කට තිබූ ලූනු කිලෝව අද වන විට රුපියල් 120 ක් දක්වා පහළ ගොස් තිබෙනවා. ඒ වගේම අර්තාපල්, සුදු සීනී, රතු පරිප්පු, කඩල, සුදු කැකුළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු වී තිබෙනවා. සෘජු ආනයනය කිරීමට ඉඩ දුන් නිසා තමයි එහෙම සහනයක් ජනතාවට ලබාදීමට හැකිවී තිබෙන්නේ. දේශීය කර්මාන්තකරුවන් කිහිප දෙනෙක් තවමත් මිල අඩු වීමේ වාසිය ජනතාවට ලබාදීමට පියවර ගෙන නැහැ.
රජය ඔවුන්ට ලබාදුන් සහන හේතුවෙන් ඔවුන්ට පවතින මිලට වඩා තවත් මිල අඩු කරන්න හැකියාව තිබෙනවා. ඉදිරියේදී මේ මිල පහළ නොදැමීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට පාරිභෝගික අධිකාරියට උපදෙස් දී තිබෙනවා. ඒ වගේම ටයිල්, සිමෙන්ති, නානකාමර උපාංග සඳහා ද උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පියවර ගන්නවා. මීට අමතරව මෙරට අලෙවි කරන සෑම භාණ්ඩයක් සඳහාම උපරිම සිල්ලර මිලක් නියම අනිවාර්යය කරනවා. ටයිල් ආනයනය කිරීම අඩු කිරීමෙන් ඒවායෙහි මිල ඉහළ යෑමක් සිදු වුණා. ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හරහාත් තරගයක් ලබා දෙන්න පුළුවන්කම තිබෙනවා. එම තරගයට සූදානම් වෙන්න කියා මම ඔවුන්ට දැනුම් දුන්නා. රජයක් ලෙස අප ගනු ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් පාරිභෝගික ජනතාවට සහන ලබාදීමට අවශ්‍ය වටපිටාව මේ වන විට සකස් වී තිබෙනවා. ඉදිරියේදී සිමෙන්ති සඳහා සිල්ලර මිල නියම කිරීමේදී එම ගණනය කිරීම් සිදුකළ ආකාරය පැහැදිලි කළ යුතු බව මම එම සමාගම්වලට දැනුම් දී තිබෙනවා. සිමෙන්ති නිෂ්පාදනයට ගිය වියදම, ලාභය, වෙළෙන්දාට ලබාදෙන ලාභය සැලකිල්ලට ගෙන උපරිම සිල්ලර මිල නියම කළ යුතුයි.
පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට වැටලීම්වලට යනවාට වඩා අද සිදුව තිබෙන්නේ පාරිභෝගික ජනතාව දැනුම්වත් කිරීමටයි. මිල ප්‍රදර්ශනය කිරීම නිසි පරිදි සිදු කර තිබුණොත් මිල හරියට බලා ගන්න පුළුවන්. මිල ප්‍රදර්ශනය කිරීම් සියයට සියයක්ම සිදුවෙනවා ද කියා සොයා බැලීමට පාරිභෝගික අධිකාරියට උපදෙස් දී තිබෙනවා.
ජීවන වියදම පිළිබඳව තිබෙන ගැටලුවලට විසඳුමක් ලෙස නිෂ්පාදන වියදම අඩු කිරීමටත් පියවර ගත යුතුයි. නිෂ්පාදකයාට අලුත් තාක්ෂණය ලබා දිය යුතුයි. මේ වන විට පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් අප වාර්තාවක් සකස් කරමින් සිටිනවා. එමඟින් දේශීය නිෂ්පාදකයා හරහා අඩු මිලට පාරිභෝගික ජනතාවට භාණ්ඩ ලබාදීමට ඉදිරියේදී හැකියාව ලැබෙනවා. පරිප්පු සියයට සියයක්ම ආනයනය කරනවා. දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි දේ පවා තවමත් අපි ආනයනය කිරීමේ තත්ත්වයක් තිබෙන්නේ. මේවා තේරුම් අරගෙන වැඩ කිරීම අවශ්‍යයි.
ආනයනකරුවන්, නිෂ්පාදකයන් හා පාරිභෝගික ජනතාව කළමනාකරණය කිරීම දුෂ්කර කටයුත්තක්. වසර විස්සකට පසුව පාරිභෝගික අධිකාරි පනත සංශෝධනය කිරීමට අනුමැතිය ලබාගෙන තිබෙනවා. එම පනත මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවට භාරදීලා තිබෙනවා. එමඟින් විශාල වශයෙන් පාරිභෝගික ජනතාව ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබෙනවා.
අඩු මිලට දේශීය නිෂ්පාදන සකස් කිරීමට වැඩපිළිවෙළක් අප සකස් කරගත යුතුයි. රටේ ආර්ථිකය ගොඩනඟා ගැනීමට මෙන්ම පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමට විශාල වැඩ කොටසක් රජය සිදුකර තිබෙනවා. 1864 පාන් ආඥා පනත අවලංගු කරන්න මම ඉල්ලා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයටත්, කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවටත් හා වෙළෙඳ අමාත්‍යාංශයටත් එම පනතින් කිසිදු වැඩක් කර ගන්න බැහැ. ප්‍රමිතිය බලන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය. බර බලන්නේ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව. පාන් ආඥා පනත කොටස් තුනකට වෙන් වෙලා. එම පනත අවලංගු කරලා පාන් සඳහා නව පනතක් හඳුන්වා දීමට අප කටයුතු කරනවා. සහල්වලට අමතරව තිරිඟු පිටි තමයි ජනතාව වැඩිපුරම භාවිතා කරන්නේ. ඒ නිසා තිරිඟු පිටි සම්බන්ධයෙන් මීට වඩා අවධානයක් යොමු කළ යුතුයි. කොහොම නමුත් පාන් මිල ඇතුළු ඒ ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක මිල අඩු වී තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළ තවත් මිල අඩු වෙයි කියා විශ්වාස කරනවා.
භාණ්ඩවල මිල පහළ දැමීම සඳහා එයට සම්බන්ධ අනිකුත් අමාත්‍යාංශවල සහාය ද ලබාදිය යුතුයි. ඒ වගේම පාරිභෝගික ජනතාවට සහන ලබා නොදෙන සමාගම්වලට දැඩි නීතිමය පියවර ගැනීමට පසුබට වන්නේ නැහැ. මේ රටේ තිබෙන ඇතැම් සමාගම් පාරිභෝගික ජනතාවට සහන ලබාදීමට කටයුතු කර නැහැ. නමුත් ඔවුන් රජය වෙතින් ලබාගත හැකි සහන උපරිමයෙන් ලබා ගෙන තිබෙනවා. ඒ තුළ ඔවුන් අසාමාන්‍ය ලෙස ලාභ ලබනවා. මොවුන් රටේ ජනතාව ගැනත් සිතිය යුතුයි. රට ගොඩනඟන්න නම් අත්‍යවශ්‍ය භාණ්ඩ නොවන භාණ්ඩවල මිලත් අඩු විය යුතුයි. රටේ ඉදිකිරීම් නැවත ආරම්භ කරන්න, සාමාන්‍ය පුරවැසියෙකුට නිවසක් ඉදිකර ගන්න, වැසිකිළියක් ඉදිකරන්න අවශ්‍යයි. ඒ නිසා අසාමාන්‍ය ලෙස මිල වැඩි කරන සමාගම්වලට එරෙහිව ද ඉදිරියේදී නිතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා.