බෝධියාවත්තේ වෙඩික්කරු යැයි සිතා පොලිසිය තරුණයෙකුට පහරදීලා

පසුගිය දෙසැම්බර් 30 වනදා රාත්‍රියේ කොහුවල පොලිස් වසමේ බෝධියාවත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු සොයා පොලිස් විමර්ශන තවමත් ක්‍රියාත්මකයි.

මෙම වෙඩි තැබීමෙන් අවුරුදු 16ක දැරියකට බරපතළ තුවාල සිදු වුණා.

වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු පෙරේදා (03) දිනයේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජනතාවගේ සහාය පතමින්, වෙඩික්කරුගේ රුවට සමානව අඳින ලද ඡායාරූපයක් පොලිසිය ප්‍රසිද්ධියට පත් කළා.

එවන් තත්ත්වයක වෙඩික්කරුගේ රුව තමාගේ රුව සමඟ පටලවාගෙන බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් තමාට පහරදුන් බවට පුද්ගලයෙක් චෝදනා කරනවා.

දැරණියගල ප්‍රදේශයේ පදිංචි ළහිරු මධුසංඛ නැමැති පුද්ගලයෙක් මෙලෙස චෝදනා එල්ල කරන අතර, මෙම පුද්ගලයා දැරණියගල ප්‍රදේශයේ අවන්හලක් පවත්වාගෙන යන තරුණයෙක්.

තමන් පසුගිය ජනවාරි පළමු වනදා අවශ්‍යතාවයක් වෙනුවෙන් කොළඹට පැමිණි බවත්, එදින රාත්‍රීයේ බේස්ලයින් මාවතේ පිහිටි සිය බිරිඳගේ නිවසේ රැඳී සිටි බවයි ඔහු පවසන්නේ.

ඊට පසුදින උදෑසන පොලිස් නිලධාරීන් පිරිසක් එම නිවසට පැමිණ තමාගෙන ප්‍රශ්න කර දුරකථනය ද පරීක්ෂා කළ බවත්, පසුව තම කැමැත්තෙන්ම ප්‍රකාශයක් ලබාදීමට බොරැල්ල පොලිසිය වෙත ගිය බවයි ඔහු සඳහන් කරන්නේ.

එලෙස ප්‍රකාශයක් ලබාදීමට බොරැල්ල පොලිසියට ගිය අවස්ථාවේ දී එම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් ඡායාරුපයක් පෙන්වා එහි සිටින්නේ තමන් බවට වරදවා වටහාගෙන තමන්ට පහර දුන් බවයි ඔහු චෝදනා කරන්නේ.

දින දෙකක කාලයක් පොලිස් ස්ථානය තුළ තමන්ව රඳවා තබාගෙන පෙරේදා (03) දිනයේ නිදහස් කළ බව එම තරුණයා පවසනවා.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් සිදුකළ විමසීමක දී සඳහන් කළේ එවැනි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇති බවත්, නමුත් සිදුකළ පරීක්ෂා කිරීම්වල දී අදාළ පුද්ගලයා බෝධියාවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ පොලිසිය විසින් සොයන වෙඩික්කරු නොවන බවට හඳුනාගත් බවයි.

ඒ, අනුව ඔහුව බොරැල්ල පොලිසිය විසින් පොලිස් ඇපමත මුදාහැරීමට කටයුතු කර ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
0
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?