Empty Ad
AFC Banner
Empty Ad

බටලන්ද භීෂණය, පාස්කු ප්‍රහාරය, සිවිල් අරගලය ඇතුළු චෝදනා රැසක් ගැන අල් ජසීරා ඇසූ ප්‍රශ්නවලට රනිල්ගෙන් පිළිතුරු

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා අල් ජසීරා පුවත් සේවය ඊයේ (06) සජීවී ව සිදු කළ ‘Head to Head’ දේශපාලනික වැඩසටහනේ දී මාධ්‍යවේදියා ‘ මැතිවරණ පරාජය, පාස්කු බෝම්බ ප්‍රහාර විමර්ශනය සහ රාජපක්ෂ පවුලට නඩු පැවරීම සම්බන්ධයෙන්’ අසන ලද සියලු ප්‍රශ්නකාරී චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන පරිදි හිටපු ශ්‍රී ලංකා ජනාධිපති සහ හය වතාවක් අගමැති ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට එල්ල වූ සියලු චෝදනා මෙහිදී ප්‍රතික්ෂේප කරන ආකාරයයි දක්නට ලැබෙන්නේ.

එහිදී අරගලයෙන් පන්නා දැමූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට නඩු පැවරීමෙන් නිදහස් කර ආරක්ෂා කළ බවට ද චෝදනා එල්ල වුණා.

එහිදී හිටපු ජනාධිපතිවරයා එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

2019 දී ශ්‍රී ලංකාව කැලඹූ මාරාන්තික පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලට රජයේ සම්බන්ධතා විශ්වාසදායක ලෙස විමර්ශනය කිරීමට ඔහුගේම පරිපාලනය අපොහොසත් වූ බවට එල්ල වූ නවතම චෝදනා ද හිටපු ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කළා.

මෙහ්ඩි හසන් (Mehdi Hasan) නමැති අල් ජසීරා ඉංග්‍රීසි නාලිකාවේ මෙම මාධ්‍යවේදියා සමඟ පැයක් පුරා පැවති සම්මුඛ සාකච්ඡාවෙන් මිනිත්තු 8ක් ගත වීමටත් පෙර මාධ්‍යවේදියා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර උණුසුම් විවාදයක් ද හටගත්තා.

එම විවාදයේ දී රටේ සිවිල් යුද්ධයෙන් පසු රජය යුද අපරාධ විමර්ශන හැසිරවීම සහ 1980 ගණන්වල අගභාගයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලද බටලන්දේ වධහිංසා පැමිණවීම් මෙන් ම මහජන විරෝධතාවලින් පසු 2022 දී රටින් පලා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින්නේ දැයි විමසූ විට එම චෝදනාවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ මෙවැන්නක්;

“මගේ රටේ, නඩු පැවරීම තීරණය කරන්නේ දේශපාලන චරිතයක් නොවන නීතිපතිවරයායි – අපට සාක්ෂි පමණයි ඔහු වෙත සැපයිය හැක්කේ..”යනුවෙන්.

හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනාටම දූෂණ හා යුද අපරාධ මෙන් ම රට විශාල මූල්‍ය අර්බුදයකට ඇද දැමීම සම්බන්ධයෙන් පුළුල් චෝදනා එල්ල වී ඇති පසුබිමක ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රටින් පලා ගිය සැමට නීතිය ක්‍රියාත්මක නොකිරීමටත්, ඔවුන්ට රටට ඇතුල්වීමට ඉඩ දීම සම්බන්ධයෙන් ද අල් ජසීරා මාධ්‍යවේදියා ප්‍රශ්න කර සිටියා.

එහිදී වික්‍රමසිංහ මහතා පැවසුවේ;

“ඔහුට ආපසු පැමිණිය හැකිය. ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් නෑ. මට එය කළ හැක්කේ කෙසේද? මම ඒකාධිපතියෙක්ද?” යනුවෙන්.

ISIS අනුබද්ධිතයෙකු විසින් සිදු කරන ලද 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ “වෙනත් බලවේග” වික්‍රමසිංහ රජය විසින් ආරක්ෂා කර ඇති බවට කතෝලික පල්ලිය විසින් කරන ලද අලුත් චෝදනා සම්බන්ධයෙන් ද හසන් නමැති මාධ්‍යවේදියා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කර සිටියා.

එහිදී හිටපු ජනාධිපතිවරයා පැවසුවේ මේ සියලු ම දේ විකාර බවත් කතෝලික පල්ලියේ දේශපාලනයක් ඇති අතර ඒ සම්බන්ධයෙන් තමන් මනා ලෙස දැනුවත් බවයි.

එමෙන්ම අදාළ විමර්ශනය සම්බන්ධයෙන් සිය ධුර කාලයේ දී විශේෂ කමිටුවක් පත් කළ ද කමිටුවේ වාර්තා කතෝලික සභාව පිළිගැනීමට අකමැති බව ද හිටපු ජනාධිපතිවරයා පැවසුවා.

ජනාධිපති වශයෙන්, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා කරන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන්හි ප්‍රධානියා ලෙස නැවත පත් කළේ ඇයි දැයි යන්න ද හිටපු ජනාධිපතිවරයාට එල්ල වූ ප්‍රශ්න අතර වුණා.

එහිදි රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ; “මැතිවරණයක් අතරතුර හමුදාපතිවරුන් ප්‍රතිස්ථාපනය නොකිරීම පුරුද්දක්. මම වැඩ භාරගත් විට, එය පරීක්ෂා කළා. ජෙනරාල් සිල්වා එයට සම්බන්ධ නැති බව දැනගත් පසු මම සෑහීමකට පත් වුණා..” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?