Empty Ad
Empty Ad
 Empty Ad

පෘථිවියේ ස්වර්ගය ඉන්දීය කාශ්මීරයේ මැවූ ආසියාවේ විශාලතම ටියුලිප් උද්‍යානය

ටියුලිප් යනු ශ්‍රී ලංකාවේ බහුලව දකින්න ලැබෙන මල් විශේෂයක් නොවුණත්, අපට ටියුලිප් මල ආගන්තුක නැහැ. ටියුලිප් කියන්නේ ලෝකයේ තියෙන ඉතාම සුන්දර මල් වර්ග වලින් එකක්. හැබැයි ටියුලිප් කියන්නේ ‘ධනවතුන්ගේ පුෂ්පයක්’ කියන ලේබල් එක වැදිලා තියෙන නිසා, මේ මල බොහෝවිට අපිට නම් දකින්න ලැබෙන්නේ තරමක් ඉහල වියදමක් දරල පවත්වන උත්සවවලදී විතරයි.

ටියුලිප් මල්වල නිජබිම වන්නේ කසකස්ථානයයි. දහසය වන සියවස වන විට කසකස්ථානය කියන ප්‍රදේශය පාලනය වුණේ ඔටෝමාන් අධිරාජ්‍යයාගේ පාලනය යටතේයි. එවකට ඔටෝමාන් අධිරාජ්‍යය පාලනය කරනු ලැබුවේ සුලෙයිමාන් සුල්තාන්වරයා විසින්. ඔහු ටියුලිප් මල් දැකීමත් සමඟ ඊට දැඩි ඇල්මක් දැක්වීමට පටන්ගන්නවා. මේ නිසාම ඔහු ටියුලිප් මල් තුර්කියේද වගාකිරීමට පියවර ගන්නවා. කොහොමඋණත් ටියුලිප් වගාකිරීමට අවසර ලැබෙන්නේ අධිරාජ්‍යායේ මාලිගයේ සහ ප්‍රභූවරුන්ගේ නිවෙස්වල පමණයි.

හැබැයි අද වනවිට ටියුලිප් වඩාත් ජනප්‍රිය නෙදර්ලන්තයේ. නැත්නම් අතීතයේ ඕලන්දය කියලා හඳුන්වපු රටේ. නෙදර්ලන්තයට මේ මල සංක්‍රමණය වෙන්නේ මිට වසර 400කට විතර කළින්. ලෝකයේ මල් වෙළඳාමේ හදවත කියලා කියන්නේ නෙදර්ලන්තයට. ටියුලිප් වගාව කියන්නේ නෙදර්ලන්තයේ ධනවතුන්ගේ ප්‍රියතම විනෝදාංශය. ධනයේ සහ සමෘද්ධියේ සංකේතය ලෙසත් හැඳින්වෙන ටියුලිප් මල, නෙදර්ලන්තයේ ජාතික පුෂ්පය ද වෙනවා.

අපි රෝස මල ආදරයේ සංකේතය ලෙස හැඳින්වුවත්, ඇතැමුන් ටියුලිප් මල් ආදරයේ සංකේතයක් විදිහට සලකනු ලබනවා. ඒත් ටියුලිප්වල විශේෂත්වය වන්නේ එක් එක් වර්ණයට විශේෂිත අර්ථයක් තිබීමයි. උදාහරණයක් විදිහට සමාන්‍යයෙන් රතු වර්ණයෙන් කියැවෙන්නේ ආදරයයි. ඊට අමතරව සුදු පැහැයෙන් සමාව දීමත්, කහ පාටින් උද්යෝගීමත් බවත්, දම් පැහැයෙන් රාජකීයත්වයක් කියැවෙනවා.

ටියුලිප් කියන්නේ අද වන විට වාණිජමය වශයෙන් වගාකරණ මල් විශේෂයක්. ලෝකයේ සමස්ත ටියුලිප් මල් වගාවෙන් 60%කට පමණ හිමිකම් කියන්නේ කළින් කියපු නෙදර්ලන්තයයි. නෙදර්ලන්තය දල වශයෙන් වසරකට ටියුලිප් මල් බිලියන තුනකට අධික ප්‍රමාණයක් අපනයනය කරනවා. ඒ වගේම සෑම වසරකම වසන්ත සමයේදී නෙදර්ලන්තයේ ටියුලිප් සැණකෙලියක් පැවැත්වෙනවා. එම සැණකෙලිය ඈම්ස්ටර්ඩෑම් අගනුවරට ආසන්නයේ පිහිටි කෙවුකන්හෝෆ් (Keukenhof) උද්‍යානයේදී තමයි ඉතා අලංකාරවත්ව පැවැත්වෙන්නේ.

කලින් කියපු විදිහට මේක වාණිජ වගාවක් බවට අද වන විට පත්වෙලා තියෙන නිසා ලෝක වෙළඳපොලේ ටියුලිප් වගාවට තියෙන්නේ විශාල තරගයක්. මේ වෙනකොට ඉක්වදෝරය, කෙන්යාව, කොලොම්බියාව, ඉතියෝපියාව වැනි රටවල් මල් වගා කිරීම සම්බන්ධව නෙදර්ලන්තයට විශාල තරඟයක් ලබාදෙමින් ඉන්නවා. ඒ වගේම ජර්මනිය, ප්‍රංශය සහ එක්සත් රාජධානිය, ජපානය, ඉතාලිය කියන රටවල් තමයි අද වෙනකොට ලෝක වෙළඳපොලේ ටියුලිප් මලේ ප්‍රධානම ගනුම්කාරයෝ බවට පත්වෙලා ඉන්නේ.

නෙදර්ලන්තය කියන්නේ යුරෝපයේ රටක් උණත් අපි කලින් කියපු විදිහට ටියුලිප් මලේ නිජබිම කසකස්ථානය. ඒ කියන්නේ ආසියාව. මේ වෙනකොට ටියුලිප් මල නැවතත් තමන්ගේ නිජබිම පිහිටි කලාපයේ ජනප්‍රිය වෙමින් පවතින බව දැකගන්නට පුළුවන්. ඒ ඉන්දියාව ටියුලිප් මලට විශේෂ අවධානයක් යොමුකිරීමත් සමග.

කාශ්මීරය කියන්නේ ඉන්දියාවේ වැඩිම සංචාරක ආකර්ෂණයක් ලබාගත්තු කලාපයක්. අපි දන්නවා, යුරෝපයේ සංචාරය කරන පිරිස්වලත් ප්‍රධානම ගමනාන්තයක් වෙන්නේ ටියුලිප් වගාබිම් කියලා. ඒ නිසාම විශේෂයෙන් කලාපයට පැමිණෙන සංචාරකයන් ඉලක්ක කරලම, මීට ටික කලකට පෙර කාශ්මීරයේ මහා පරිමාණයෙන් ටියුලිප් වගාකිරීම ඇරඹුනා. එම ක්‍රියාවලියේ විශේෂ සන්ධිස්ථානයකට පැමිණෙමින් ආසියාවේ විශාලතම ටියුලිප් උද්‍යානය වන ‘සිරාජ් බාග්’ පසුගියදා කාශ්මීරයේදී විවෘත කෙරුණා.

ඒ සමගම කාශ්මීර නිම්නය පසුගිය බදාදා සංචාරකයින් දහස් ගණනකගෙන් පිරිගියා. මේ ටියුලිප් උද්‍යානය ජම්මු සහ කාශ්මීර රජයේ මල් වගා දෙපාර්තමේන්තුව විසින් විවෘත කරනු ලැබූ අතර, දහස් සංඛ්‍යාත අමුත්තන්ට අලංකාර උද්‍යානය පිළිබඳ අවබෝධය ලබා ගැනීමට ඉඩ සලසා තිබෙනවා.

විවෘත කිරීමත් සැමදාම උද්දාමයට පත්ව සිටි සංචාරකයන් සුන්දර ටියුලිප් මල් අතරින් උද්‍යානයේ ඇවිදිමින්, නටමින්, විනෝද වෙමින් සහ සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටිනු දක්නට ලැබුණා. ඒ අතරින් වඩාත් ප්‍රීතියට පත්ව සිටි සංචාරකයෙක් වූ කදීජා ප්‍රකාශ කර තිබුණේ, “මේ උද්‍යානය පෘථිවියේ ස්වර්ගය යනුවෙන් හඳුන්වනවා කියලා මම අහල තිබුණා. හැබැයි මම අද එක ඇස් දෙකෙන්ම දැක්කා. කාශ්මීරයේ ලස්සන ඊට එකතුවෙලා. මේ උද්‍යානය දෙස ඉහළ සිට බලනකොට, ඒක චෙරි ගෙඩියක් වගේ ” යනුවෙන්.

මෙම දැවැන්ත උද්‍යානය විවෘත කරන බව නිවේදනය කිරීමත් සමඟම ආරම්භක දිනයේදී කාශ්මීරයෙන් පිටවීමට ගුවන් තොටුපළට පැමිණෙමින් සිටි සංචාරකයන් රැසක් ආපසු නිම්නයට පැමිණ තිබෙන අතර මනරම් මේ උද්‍යානයේ විවිධ ටියුලිප් මල් අතර කාලය ගත කරමින් අනෙකුත් සංචාරකයන්ට ද එය නැරඹීමට උපදෙස් ලබාදී තිබෙනවා. සංචාරකයන් පවසන්නේ නිම්නයේ දැන් ස්විට්සර්ලන්තයේ ටියුලිප් තැන්නකට නොඅඩු සුන්දරත්වයක් දැකගත හැකි බවයි.

“ඉන්දියාවට දැන් තමාටම කියා පෞද්ගලික ස්විට්සර්ලන්තයක් තිබෙනවා. සෑම කෙනෙකුම එක් වරක් මේ නිම්නය නැරඹිය යුතු වෙනවා ” යැයි උද්දාමයට පත් කදීජා තවදුරටත් පවසා තිබෙනවා.

දාල් විල අසල Zabarwan කඳු පාමුල පිහිටා ඇති මෙම උද්‍යානය හයසින්ත්, ඩැෆඩිල් (daffodils) සහ ranunculus ඇතුළු තවත් විවිධ මල් වලින් දර්ශනීය පරිසරයක් මවා පානවා. මුම්බායි සිට පැමිණි තවත් සංචාරකයෙකු වන ජෆාර් සයීඩ් මෙසේ පවසා තිබුණා. “අද වාසනාවන්තම මිනිසා මමයි, මම දින පහක් දාල් විලේත්, දින දෙකක් පෙහෙල්ගම් වලත් සිටි මාගේ ගමනේ අවසාන දිනය දිනය අදයි. එය මීට වඩා හොඳින් අවසන් කිරමක් ගැන මට සිතාගැනීමට බැහැ.

මෑත කාලීනව, සෑම වසරකම පාහේ ලක්ෂ සංඛ්‍යාත නරඹන්නන් මෙම උද්‍යානය නැරඹීමට පැමිණෙන අතර, එහි ප්‍රතිඵලයක් විදිහට රටේ විවිධ ප්‍රාන්තවල සංචාරකයන් එය විවෘත කරන වසන්තයේ ආරම්භය තෙක් නොයිවසිල්ලෙන් බලාසිටින තත්වයක් දැන් උදාවෙලා. මෙවර නිම්නයට පැමිණි තවත් අමුත්තෙක් වන ශකීලා පවසා ඇත්තේ,

“මම සතුටු වෙනවා, මෙය මගේ පළමු කාශ්මීර සංචාරය, මේ මිටියාවතේ සුන්දරත්වය දැකීමෙන් මම ගොළු වෙනවා” යනුවෙන්.

“මෙම ස්ථානය අලංකාරයි. හරියට චිත්‍රයක් වගේ.දර්ශනීයයි.විස්මිතයි. ඒ වගේම ස්වර්ගය හා සමානයි. මා තුළ සිටින කලාකරුවාට නැවත නැවතත් මෙහි පැමිණීමට අවශ්‍යයි ”යනුවෙන් මෙවර කාශ්මීරය නැරඹීමට පැමිණි කලාකරුවෙකු වන සයිඩ් ජාවෙඩ් ඉක්බාල් ඉතාම අපුරුවට මේ සුන්දරත්වය වර්ණනා කර තිබෙනවා.

මෙම අලංකාර උද්‍යානය නැවත විවෘත කිරීමට පෙර, උද්‍යානයේ නඩත්තුව සහ කළමනාකරණය පිළිබඳ වගකීම දරන මල් වගා දෙපාර්තමේන්තුව, සමස්ත ශ්‍රම බළකායම සම්බන්ධ කර ගනිමින් විවිධ ටියුලිප් මල් වර්ගවල නව මෝස්තරවලින් උද්‍යානය සූදානම් කිරීමට වෙහෙස නොබලා කටයුතු කර තිබෙනවා. මෙම නව උද්යෝගය නිසාම මෙම උද්‍යානය කාශ්මීර සංචාරක ව්‍යාපාරයට ප්‍රබෝධයක් ලබා දී ඇති අතර රැකියා සඳහා නව මාර්ග විවෘත කරදී ඇති බව දැකගන්නට පුලුවන්. මාසයකට ආසන්න කාලයක් පවතින මෙම උද්‍යානය ආශ්‍රිත ටියුලිප් ප්‍රදර්ශනය තුළ දේශීය හා බාහිර අමුත්තන් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීම සඳහා තවත් විචිත්‍රවත් අංග ගණනාවක් සංවිධානය කෙරෙනවා.

“පසුගිය වසරේ තමයි අපට වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණියේ. මේ වසරේ අපි ඊටත් වඩා වැඩි සංඛ්‍යාවක් ඉලක්ක කරනවා. හිමෙන් වැසුණු කඳු, ලස්සන මල් සහ පිරිසිදු විල්. මේ තමයි කාශ්මීරය. මිටියාවතට පැමිණ මෙම සුන්දරත්වය අත්විඳීමට මම මිනිසුන් දිරිමත් කරනවා” යනුවෙන් මෙම තවදුරටත් පිබිදෙන සංචාරක ව්‍යාපාරය පිළිබඳව අදහස් පලකරන ජම්මු සහ කාශ්මීරයේ ප්‍රධාන ලේකම් ආචාර්ය අරුන් කුමාර් මේතා සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?