උසාවියට අපහාස කළේ යැයි පුත්තලම මහාධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද නීතීඥවරියව වහා නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව අමරසූරිය මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
නිදහස් වීමෙන් පසුව එම නීතිඥවරියට අප්‍රේල් මස 28 වනදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවටත් අධිකරණය විසින් නියම කර සිටියා.
අධිකරණයට අපහාස වන ලෙස හැහැසිරුණු බව කියන අදාළ නීතිඥවරිය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පුත්තලම මහාධිකරණ විනිසුරුවරිය පසුගිය 28 වනදා නියෝග කරනු ලැබුවා.
පුත්තලම අධිකරණ බල සීමාවේ පදිංචිකරුවන් දෙදෙනෙකු විසින් රුපියල් ලක්ෂ 25ක ශරීර ඇප අත්සන කළ යුතු බවත්, එම ඇප කරුවන්ගේ ආදායම් වාර්තා සනාථ කරගත යුතු බවත් මහාධිකරණ විනිසුරුවරිය එහිදී ඇප කොන්දේසි ලෙස දන්වා සිටියා.
එම ඇප කොන්දේසි සපුරාලන තුරු අදාළ නීතිඥවරිය මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර තිබුණේ.