Empty Ad
Empty Ad
 Empty Ad

පාසල් 100ක ‘ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම්’ පිහිටුවීමේ වැඩසටහන ඇරඹේ

අනාගත පරපුර නවීන තාක්ෂණයෙන් මෙන්ම මූල්‍ය සාක්ෂරතාවයෙන් ද සවිබල ගන්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

නව ආර්ථික ක්‍රමවේද සමඟ 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් කරා යන ගමනේ දී එය අත්‍යවශ්‍ය කරුණක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

එසේම ලබන වසරේ සිට මහ බැංකු වර්තාව පාසල්වල සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා ගුරුවරුන්ට හා ශිෂ්‍ය නායකයන්ට අවශ්‍ය පුහුණුව ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (31) පෙරවරුවේ මහනුවර නුගවෙල මධ්‍ය විද්‍යාලයේ පැවති තෝරාගත් පාසල් 100ක ‘ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම්’ පිහිටුවීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින්.

පාසල් සිසුන් අතර කොටස් වෙළෙඳපොළ පිළිබඳ දැනුවත්භාවය සහ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, සුරැකුම් හා විනිමය කොමිෂන් සභාව හා කොළඹ කොටස් හුවමාරුව එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙනවා.

ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අධ්‍යාපන අමාත්‍යාශයේ ලේකම් එම්.එම්. රණසිංහ, සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස්, කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජිව බණ්ඩාරනායක යන මහත්වරුන් විසිනුයි අත්සන් තැබුවේ.

නුගවෙල මධ්‍ය විද්‍යාලයේ ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගමය පිහිටුවීමට අදාළ වරලත් සහතික පත්‍රය සහ රුපියල් ලක්ෂයක මුදල මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විදුහල්පති ධම්මික බණ්ඩාර මහතා වෙත පිළිගන් වනු ලැබුවා.

එසේම ‘ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම්’ පිහිටුවීමට අදාළ දැනුම සම්පාදනය කෙරෙන ග්‍රන්ථ කට්ටලය ද ජනාධිපතිවරයා විසින් භාර දෙනු ලැබුවේ විෂයභාර ආචාරිණිය වන අචිනි කණිටිවෙල මහත්මිය වෙතයි.

විද්‍යාලයේ චිත්‍ර කලා ප්‍රධාන ආචාරිණි නයනා විජේකෝන් මහත්මිය විසින් සිතුවමට නඟන ලද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව සහිත සිතුවමක් ද එතුමා වෙත පිළිගැන් වුණා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“අප එක තැන කැරකුනොත් ලෝකය අප පසුකරගෙන යනවා” යනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සිය කතාවේදී ගීත කොටසත් උපුටා දැක්වූවා. ඒ බව මතකයේ තබා ගෙන කටයුතු කරන නිසා තමයි අද අප මෙම වැඩසටහන ආරම්භ කර තිබෙන්නේ.

අප බොහෝ කාලයක් 20 වන ශතවර්ෂයේ මැද භාගයේ පැවති කර්මාන්ත යුගයේ ආකල්ප සමඟ වැඩකටයුතු කළා. ඒ වගේම එම ප්‍රතිපත්ති දේශපාලනයේ නිරත වුණා. එහි විපාක පිළිබඳ මම මෙහි සඳහන් කිරීමට අවශ්‍ය නැහැ කියා සිතනවා.

2021, 2022 වසරවලදී කොවිඩ් වසංගතය වගේම ආර්ථික ගැටලු හේතුවෙන් අප බංකොළොත් රටක් බවට පත් වුණා. නමුත් රට බංකොළොත්භාවයෙන් මුදා ගැනීමේ වැඩපිළිවෙළ මම දැන් ආරම්භ කර තිබෙනවා. එය අපේ ආණ්ඩුව සාර්ථව සිදු කරන බව කිවයුතුයි.

අප නැවත රටක් ලෙස අගාධයට නොවැටී ඉදිරියට යන්නේ කෙසේද කියා අවධානය යොමු කළ යුතුයි. 20 වන ශතවර්ෂයේ මැද භාගයේ අනුගමනය කළ ප්‍රතිපත්ති සමඟ ඉදිරියට යනවාද එසේ නොමැති නම් අලුතින් සිතා අලුත් ගමනක් යනවාද කියා තීරණය කළ යුතුයි. අප පැරණි ක්‍රමයට අනුව ඉදිරියට ගියහොත් අපට එක තැන කැරකෙන්නවත් රටක් නැති වෙනවා. මොකද අද අප සිටින තැන විශාල ආගාධයක් තිබෙන බව අමතක නොකළ යුතුයි.

මේ රටේ අනාගතය භාර ගැනීමට සිටින පරපුරට එවැනි තත්ත්වයකට මුහුණදීමට අප ඉඩ නොතබන බවද කිව යුතුයි. එසේ නම් අප තාක්ෂණය සමඟ අලුත් ගමනක් යා යුතුයි. 21 වන සියවසේ තාක්ෂණික දියුණුව පිළිබඳ මා අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ.

අප පාසල් අධ්‍යාපනය ලබන සමයේ එක ගමකට එක දුරකථනයක් වත් තිබුණේ නැහැ. නමුත් අද සෑම අයෙකුම අතේ ජංගම දුරකථනයක් තිබෙනවා. ඇතැම් අය ළග ජංගම දුරකථන දෙකක් තිබෙනවා. එය තමයි සිදුව තිබෙන වෙනස.

අප මෙම වෙනස සමඟ ඉදිරියට යන විට නවීන තාක්ෂණය රටට ගෙන ආ යුතුයි. ඒ සඳහා අප විශාල වැඩ කොටසක් කරගෙන යනවා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය සහ පර්යේෂන ආයතන එම කටයුතු කරගෙන යනවා. ඒ අනුව රටට හඳුන්වාදෙන නව තාක්ෂණ ක්‍රමවේද අප තීරණය කළයුතුව තිබෙනවා. බ්ලොක්චේන් තාක්ෂණය, කෘත්‍රීම බුද්ධිය, ජෙනොම් විද්‍යාව මේ සියල්ල සමඟ අප ඉදිරියට යා යුතුයි.

ඒ වගේම මෙම තාක්ෂණය ගමට ගෙන යා යුතුයි. මොකද අප කෘෂිකර්ම නවීකරණ වැඩසටහන හඳුන්වාදෙන්නේ නව තාක්ෂණය නිවසටම ගෙන යාම සඳහායි. නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යාමේදී අප තව කරුණක් සිහියේ තබා ගත යුතුයි. තාක්ෂණය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. මේ සියලු කටයුතු සඳහා මුදල් අවශ්‍ය වෙනවා. අප මුදල් පරිහරණය කරන සමාජයක්. ඒ වගේම අද එම මුදල් පරිහරණය කරන්නේ ඉතා විවෘත වෙළෙඳපොළක. මුදල් පරිහරණය අද ආණ්ඩුවකට පාලනය කරන්න බැහැ. ඇමෙරිකන් ආණ්ඩුවට හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටවත් එය සිදු කළ නොහැකියි.

එදා ඩිජිටල් තාක්ෂණය තිබුණේ නැහැ. ලංකාවට අන්තර්ජාලය ලබා ගැනීම සඳහා මම අත්සන් තැබුවේ 1993 වසර්දී. ඒ වන තුරු මෙම කිසිඳු පහසුකමක් අපට තිබුණේ නැහැ. මෙම නව තාක්ෂණය සමඟ ඉතා සුළු වේලාවකදී අප ලෝකය සමඟ සම්බන්ධ වෙනවා.

ඒ වගේම තරගකාරි ආර්ථිකය තුළ දේශ සීමා පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොමැති මූල්‍ය ක්‍රමයක් තිබෙන්නේ. මෙය හොඳ හෝ නරක වුවත් අපට එය වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. අප මෙම සීමාවේ සිට කටයුතු කළයුතුයි. ලෝකයට අවශ්‍ය මුදල් අවසානයේ වෙළෙඳපොළෙන් ලබා ගන්නවා. බැංකුවලට අවශ්‍ය මුදල් බැංකුවලින් ලබා ගන්නවා. සමාගම්වලට අවශ්‍ය මුදල් කොටස් වෙළෙඳපොළෙන් ලබා ගන්නවා. ඒ අනුව මුදල් පරිහරණය සිදු වෙනවා.

මෙහි වැදගත්ම කරුණ වන්නේ මුදල්. පෞද්ගලික අංශය වගේම රජයත් තෝරාගනු ලබන්නේ මුදල් වෙළෙඳපොළයි. ඒ වගේම මහා භාණ්ඩාගාර බැඳුම්කර ලබා ගන්නවා. අද උත්සාහ කරන්නේ මෙම ක්‍රමවේදය පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි. අද අප මේ ආරම්භ කරන්නේ එහි එක කොටසක් පමණයි.

ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ලබන වසරේ සිට මහ බැංකු වර්තාව පාසල්වල සාකච්ඡා කිරීමට. ඒ පිළිබඳ මම මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරනවා. ඒ සඳහා ගුරුවරු වගේම ශිෂ්‍ය නායකයන් පුහුණු කිරීම මෙන්ම බැංකු නිලධාරින්ගේ සහාය ලබා ගැනීමට ද කටයුතු කරනවා.

ඒ නිසා නවීන ක්‍රමවේද පිළිබඳව අප දැනුවත් විය යුතුයි. දැනුම ලබාදීම පමණක් නොවෙයි මුදල් පරිහරණය, සුරැකුම්පත් මේ සියල්ල ගමට ගෙන යා යුතුයි. ගමේ දක්ෂ පිරිසක් සිටිනවා. ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබා දිය යුතුයි.

ඒ සමඟම අද ලෝකය එක වෙළෙඳපොළක්. ඒ සමඟ අප ද එක්විය යුතුයි. ඒ සඳහා නිදහස් වෙළෙඳ ගිවිසුම් ගණනාවකට අප අත්සන් තබනවා. සිංගප්පූරුව සමඟ මෙන්ම ඉන්දියාව, බංග්ලාදේශය, තායිලන්තය, ඉන්දුනීසියාව, චීනය මැලේෂියාව, වියට්නාමය සමග ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. ජපානය වගේම නැගෙනහිර ආසියාව, අග්නිදික ආසියාව, ඕස්ට්‍රෙලියාව, නවසිලන්තය යන රටවල් සමඟ නව වෙළෙඳපොළට ප්‍රවේශ වීමට අපේක්ෂා කරනවා.

ඒ වගේම පහසුකම් ලබා ගැනීම පිළිබඳ අප යුරෝපා සංගමය සමග සාකච්ඡා කරනවා. තව සති දෙකකින් ඇමෙරිකාවේ කණ්ඩායමක් අප සමඟ සාකච්ඡා කිරීමට මෙරටට පැමිණෙනවා. එසේනම් ගෝලීය වෙළෙඳපොළ සහ එම ගිවිසුම් පිළිබඳව අප දැනුවත් විය යුතුයි.

අප ගොඩනඟන නව ආර්ථිකය “හරිත ආර්ථිකයක්”. ඒ වගේම “ඩිජිටල් ආර්ථිකයක්” හරිත ආර්ථිකයෙත් සුරකුම්පත් තිබෙනවා. එසේ නම් මෙහි තිබෙන්නේ නව ක්‍රමවේදයක්. මේ සමග අක්වෙරළ ආර්ථිකයක් පිළිබඳව ද අප අවධානය යොමු කර තිබෙනවා. ඒ පිළිබඳවත් දැන් ලන්ඩන් නුවර විශේෂ නීතිඥ සංගම් සමඟ සාකච්ඡා කරමින් එම නීති සකසමින් තිබෙනවා. අප මෙම නව ආර්ථික ක්‍රම සමඟ ඉදිරියට යනවා ද, නැත්නම් ආගාධයේම සිටිනවා ද කියා තීරණය කළ යුතුයි.

තව වසර 10-15ක් යන විට මෙහි සිටින බොහෝ දෙනෙක් වයස අවුරුදු 25- 35ක් අතර පිරිසක් වෙනවා. ඒ නිසා අද ඔබ තමන්ගේ අනාතය පිළිබඳ තීරණය කළ යුතුයි. අවශ්‍ය දැනුම අප ලබාදෙනවා. අත්හදා බැලීම ඔබ කළයුතුයි. එම වැඩසටහන තමයි අද මෙලෙස ආරම්භ කර තිබෙන්නේ.

මෙම වැඩසටන සඳහා දැනට පාසල් 100ක් පමණයි තෝරගෙන තිබෙන්නේ. පසුව එම සංඛ්‍යාව ඉහළ නැංවීමට අපේක්ෂා කරනවා. කොටස් වෙළෙඳපොළට, ඒ වගේම සුරැකුම්පත් විනිමය කොමිෂමට හැකියාවක් තිබෙනවා නම් මේ සමඟ තවදුරටත් සම්බන්ධ වෙන්න මම එය අගය කරනවා. මෙම සංගමයක්, දෙකක් භාරගෙන එම සහාය ලබා දෙන්න කියා මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙම වැඩසටහන ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 10ක් ලබා දී තිබෙනවා. ඒ අනුව සෑම පාසලකටම රුපියල් ලක්ෂය බැගින් හිමි වෙනවා. ඒ හැර වෙන කිසිඳු මුදලක් මේ සඳහා යොදවන්න එපා කියා මම ඉල්ලා සිටිනවා. මෙය ලක්ෂයට සීමා කරන්න. මෙය ආරම්භ කර වසරක් ගතවීමෙන් පසු කුමන පාසලද මෙම වැඩසටන සාර්ථකවම ක්‍රියාත්මක කර තිබෙන්නේ කියා සොයා බලනවා.

වැඩසටහන සාර්ථකවම ක්‍රියාත්මක කළ පාසලේ ශිෂ්‍යයන් 10 දෙනෙක්ට සහ විෂයභාර ගුරුවරයාට සිංගප්පූරුවේ කොටස් වෙළෙඳපොළ පිළිබඳ දින කිහිපයක අධ්‍යයනයක් කිරීමට සිංගප්පුරු සංචාරයක් ලබා දීමට කටයුතු කරනවා.

ඒ නිසයි මෙම මුදල ලක්ෂයට සීමා කරන ලෙස දැනුම් දුන්නේ. දුප්පත් ප්‍රදේශයක වුවත්, දියුණු ප්‍රදේශයක වුවත් එම වියදම ලක්ෂයට සීමා වෙනවා. ඒ වගේම දෙවන, තුන්වන ස්ථානවලටත් අවස්ථා ලබාදීමට බලාපොරොත්තු වෙනවා. මේ සමඟ නව ආර්ථිකය ගමට ගෙන යාම සිදු වෙනවා. ඒ වගේම මෙම අභියෝගය ඔබට භාරදෙන්නේ 2048 දියුණු රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙළෙහි කොටසක් ලෙසයි. ඊට දායකවෙමින් මෙය සංවිධානය කළ සියලුදෙනාටම මම ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම අද මෙම නුගවෙල විද්‍යලයට පැමිණෙන විට මට සිහිපත් වූ තවත් කරුණක් තිබෙනවා. එදා මධ්‍ය විද්‍යාල සංකල්පය ඉදිරිපත් කර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ එය සම්මත කර ගනු ලැබුවේ එවකට අධ්‍යාපන අමාත්‍ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමායි. එහි ප්‍රතිඵලයක් ලෙස හොරණ ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයෙන් එතුමාව පරාජයට පත් කළා.

එය තමයි අධ්‍යාපන අමාත්‍යවරුන්ට මුහුණදීමට සිදුවන තත්ත්වය. ඒ වෙනුවට ඊළග ආණ්ඩුවේ ඩී.එස්. සේනානායක අග්‍රාමාත්‍යවරයාව තෝරා පත් කරගත්තා. ඒ.ඩී. නුගවෙල මැතිතුමාව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත් කර ගනු ලැබුවා. එතුමා මෙම මධ්‍ය විද්‍යාල 50 නිර්මාණය කිරීමට දායක වුණා. මෙම නුගවෙල මධ්‍ය විද්‍යාලයට අමතරව තවත් පාසල් 49ක් ඇති කිරීම පිළිබඳව එතුමාට අප ස්තූතිවන්ත වෙනවා. එතුමා ඇති කළ පාසලකින් මෙම නව වැඩපිළිවෙළ ආරම්භ කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා.

මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා,

1999 වසරේ අමෙරිකා එක්සත් ජනපදය සිදු කළ සමීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් වසර 2003 වන විට STEM අධ්‍යාපනය හඳුන්වා දෙනු ලැබුවා. මේ වන විට ලොවපුරා රටවල් සියයක් එම අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක කරනවා. අපත් දැන් එම ක්‍රමය ආරම්භ කර තිබෙනවා. ඉන්පසුව ඊට තවත් අක්ෂරයක් එක් වුණා. ඒ අනුව STEAM අධ්‍යාපනය ලෙස ඊට වාණිජ, කලා සහ සෞන්දර්ය වැනි විෂයක් ද ඇතුළත් කර තිබෙනවා.

මෙම ඕනෑම අධ්‍යාපන ක්‍රමයක් න්‍යායාත්මකව පංති කාමරයේ සාර්ථක වුවත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳ ගැටලු මතු වෙනවා. සිසු දරුවන් බොහොමයකට චෙක්පත්, විනිමය බිල්පත්, වැනි දේ පිළිබඳ අවබෝධයක් නැහැ. ලංකාවේ වාණිජ බැංකු කොතෙක් තිබුණත් වාණිජ විෂය ධාරව හදාරන දරුවා බැංකුවකට ගොස් එහි කටයුතු සිදුවන ආකාරය අත්දකින්නේ නැහැ. අවම වශයෙන් චක්‍ර ලේඛනයක්වත් දැක නැහැ. ප්‍රාග්ධන වෙළඳපළ සීමිත පිරිසකට සීමා වෙලා. අද ආරම්භ කෙරෙන මෙම ව්‍යාපෘතිය මඟින් පාසලෙන් එළියට යන දරුවන්ට ආයෝජකයන් ලෙස ඉහළ දැනුමක් සහිතව කටයුතු කිරීමට අවස්ථාව හිමි වෙනවා.

තරුණ කටයුතු හා තිරසර සංවර්ධනය පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ රන්දුල අබේවීර මහතා,

මහ පොළවේ පැළ කරන පුංචි බීජයක් දවසක දහසකට සෙවණ දෙන මහ වෘක්ෂයක් වෙන්න පුළුවන්. ඒ කතාව පූර්විකාවක් කර ගනිමින් අද ප්‍රාග්ධන සමාජ පාසල් තුළ ඇති කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව පාසල් ප්‍රාග්ධන වෙළඳ සමාජ ඇති කිරීමට සැලැස්මක් සකස් කළා. උසස් පෙළ ප්‍රතිඵල අනුව වාණිජ අංශයේ හොඳම ප්‍රතිඵල ලබාගත් හොඳම පාසල් 100ක් තෝරාගෙන අද එම වැඩසටහන ආරම්භ කර තිබෙනවා.

කොටස් වෙළඳපළේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා,

ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව අද ආරම්භ කෙරෙන ප්‍රාග්ධන වෙළඳපොළ සමාජ සියය අනාගත ආයෝජනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ සඳහා ජාතික ආයතන හතරක් එක්වීමෙන්ම එහි ඇති වැදගත්කම පිළිබිඹු වෙනවා. තනිව කළ හැකි දෙයට වඩා එක්ව කළ හැකි දේ වැඩියි. මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ වන පිරිස වැඩි කිරීමටත්, අධ්‍යාපනික හවුල්කාරීත්ව ඇති කිරීමටත්, මූල්‍ය අධ්‍යාපනික සන්නාම ඇති කිරීමටත් අපට අවශ්‍යයි. මෙම සංකල්පය ක්‍රියාත්මක කිරීමෙන් ඊට මුල් පියවර තබනවා.

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ෆයිසාල් සලේ මහතා,

ප්‍රාග්ධන වෙළඳපොළ තුළ කටයුතු කිරීමේදී මූල්‍ය සාක්ෂරතාවය ඉතා වැදගත්. කලාපයේ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ සලකා බැලීමේ දී දැනුමේ අඩුවක් තිබෙනවා. මුදල් භාවිතය පිළිබඳ දැනුමක් ලබාදීමට මෙම ප්‍රාග්ධන සමාජ පිහිටුවීම තුළින් පාසල තුළදීම දරුවාට අවබෝධයක් ලබාගැනීමට හැකිවෙනවා. ඒ වගේම දරුවන් තුළ මේ පිළිබඳ උනන්දුවක් ඇති වෙනවා. පාසල්වල 6වන ශ්‍රේණියේ දරුවන්ගේ සිට ඉහළට දරුවන්ට මෙම දැනුම ලබාදීමට සැලසුම් කර තිබෙනවා. අධ්‍යාපනය අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමිය කොමිසන් සභාව මේ සඳහා ඍජු දායකත්වය සපයනවා. පාසල් සිසුන් සඳහා මේ පිළිබඳ සම්මන්ත්‍රණ ඉදිරියේදී පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. පාසලේ විෂය නිර්දේශ සංශෝධනයේදී මෙම විෂයත් ඇතුළත් කිරීමට ජානධිපතිවරයාගේ හා අධ්‍යාපන ඇමැතිවරයගේ සහාය අප බලාපොරොත්තු වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?