“නිපා” ගැන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් දැනුම් දීමක්

ඉන්දියාව ද ඇතුලුව රටවල් කිහිපයක පැතිර යමින් පවතින නිපා වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමගින් සඳහන් කර ඇත්තේ දැනට පවතින විද්‍යාත්මක දත්ත අනුව මෙම රෝගය මිනිසෙකුගෙන් මිනිසෙකුට එතරම් පහසුවෙන් පැතිර නොයන බවයි.

රෝගී අයෙකුගේ ශරීර තරල සහ මළ මූත්‍රා මගින් එය බෝවීමට ඉඩ තිබෙන අතර බොහෝවිට එලෙස ආසාදනය වී තිබෙන්නේ රෝගියාට ඉතාම සමීපව කටයුතු කළ අයගෙන් වීම විශේෂත්වයක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ.

යම් ප්‍රදේශයක නිපා (Nipah) රෝගය පැතිර යන අවස්ථාවල දී ඊට අදාළව මහජන සෞඛ්‍ය උපදෙස් නිකුත් කෙරෙන අතර ලාංකික අප නිසි දැනුමෙන් සවිමත්ව සහ අවධානයෙන් යුතුව පසුවීම මේ අවස්ථාවේ දී ප්‍රමාණවත් බව අදාළ නිවේදනයේ සඳහන්.

ඉදිරියේදී පවත්නා තත්වයේ වෙනසක් ඇති වුවහොත් හෝ මේ පිළිබඳව විද්‍යාත්මක දැනුම යාවත්කාලීන වීමක් සිදු වුවහොත් කඩිනමින් ජනතාව දැනුවත් කිරීමට සූදානමින් සිටින බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියාසිටියේ.

අදාළ නිවේදනය පහතින්,

මිනිස් වර්ගයා මහත් පීඩාවකට පත්කල කොවිඩ් – 19 ගෝලීය වසංගත අත්දැකීමෙන් පසු ජාත්‍යන්තර ප්‍රජාව මෙන්ම ලාංකික අපත් බෝ වෙන රෝග සම්බන්ධයෙන් පසුවන්නේ දැඩි විමසිල්ලකින්.

ඉන්දියාවේ කේළර ප්‍රාන්තයේ පැතිරෙන බවට වාර්තාවෙන නිපා (Nipah) වෛරසය පිළිබඳ විවිධාකාරයේ අදහස් පැතිරෙමින් පවත්නා මොහොතක, මේ තත්වය පිළිබඳව මේ වනවිට තහවුරුව පවත්නා විද්‍යාත්මක දැනුම ඔබ සමග බෙදාගැනීමටයි අපගේ මේ සූදානම.

මූලිකවම සතුන්ගෙන් මිනිසාට බෝවෙන (Zoonotic) බවට සොයාගෙන ඇති මෙම නිපා (Nipah) වෛරසය,1999 වසරේ දී මුල්වරට හඳුනාගැනෙන්නේ මැලේසියාවේ ඌරු ගොවිපළවල කටයුතු කල පිරිසක් අතර පැතිරගිය අවස්ථාවේ දී. වෛරසය ආසාදිත ඌරන් අනාරක්ෂිතව ස්පර්ශ කිරීමෙන් ඔවුන්ගේ පටක, ශරීර තරළ සහ මළ මූත්‍රාමගින් එවර මිනිසුන්ට රෝගය බෝවී තිබෙනවා.

ඉන් අනතුරුව මැලේසියාවෙන් නැවත රෝගීන් වාර්තා නොවුවත් 2001 දී බංග්ලාදේශයෙනුත් නැගෙනහිර ඉන්දියාවේ කලින් කලටත් මෙම රෝගය පැතිර යෑම් සිදුවී තිබෙනවා. මෙවර අවධානයට ලක්ව තිබෙන කේරළය පසුගිය වසර පහ තුළ මෙම වසංගතයට මුහුණ දෙන්නේ හතරවෙනි වතාවටයි.

ඉන්දියාව සහ බංග්ලාදේශය ආශ්‍රිතව මෙම ආසාදන පැතිරීමේ හේතුව ලෙස සැළකෙන්නේ, ස්වභාවිකවම නිපා (Nipah) වෛරසය දරා සිටීමේ හැකියාව ඇති වවුල් විශේෂයක ආසාදිත සතුන්ගේ මූත්‍රා සහ කෙළ තැවරුණ පළතුරු වර්ග / යුෂ මිනිසුන් විසින් ආහාරයට ගැනීමයි.

දැනට පවත්නා විද්‍යාත්මක දත්ත අනුව දැක්වෙන්නේ මෙම රෝගය මිනිසෙකුගෙන් මිනිසෙකුට එතරම් පහසුවෙන් පැතිර නොයන බවයි. රෝගී අයෙකුගේ ශරීර තරල සහ මළ මූත්‍රා මගින් එය බෝවීමට ඉඩ තිබෙන අතර බොහෝවිට එලෙස ආසාදනය වී තිබෙන්නේ රෝගියාට ඉතාම සමීපව කටයුතු කල අය වීම විශේෂයෙන්ම සඳහන් කල යුතුයි.

යම් හෙයකින් වෛරසය මිනිසෙකු හට ශරීරගත වුවහොත් රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වීම, සාමාන්‍ය ශ්වසන ආසාදනයක ලක්ෂණ පෙන්වීම මෙන්ම මාරාන්තික මස්තිෂ්ක ප්‍රදාහ (encephalitis) තත්වයක් දක්වා පුලුල් පරාසයක තත්වයන් ඇතිවීමට ඉඩ කඩ තිබෙනවා.

වෛරසය සිරුරට ඇතුලු වී දින 4 – 14 ත් අතර කාලයක දී උණ, හිසරදය, මස් පිඬු වේදනාව, වමනය, උගුරේ වේදනාව වැනි මූලික රෝග ලක්ෂණ ඇති වෙනවා. හඳුනාගත් රෝගීන්ට රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කිරීම සාමාන්‍ය ක්‍රමවේදයි.

මිනිසුන් අතර සිදුවන ආසාදන වළක්වාගැනීමට රෝගීන් සමඟ කටයුතු කිරීමේ දී ආරක්ෂිත ක්‍රමවේද මගින් ඔවුන්ගේ ශරීර තරලවලට නිරාවරණය වීම වළක්වා ගැනෙනවා. මෙය වළක්වන එන්නතක් දැනට භාවිතයේ නැහැ.

යම් ප්‍රදේශයක නිපා (Nipah) රෝගය පැතිර යන අවස්ථාවල දී ඊට අදාළව මහජන සෞඛ්‍ය උපදෙස් නිකුත් කෙරෙන අතර ලාංකික අප නිසි දැනුමෙන් සවිමත්ව සහ අවධානයෙන් යුතුව පසුවීම මේ අවස්ථාවේ දී ප්‍රමාණවත්.

ඉදිරියේදී පවත්නා තත්වයේ වෙනසක් ඇතිවුවහොත් හෝ මේ පිළිබඳව විද්‍යාත්මක දැනුම යාවත්කාලීන වීමක් සිදුවුවහොත් කඩිනමින් ඔබව දැනුවත් කිරීමට අප සූදානමෙන් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
5
+1
2
+1
8
+1
24
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෙකෝඩ් කරලා තියාගන්න - ආයේ හාල් ගෙන්නන්නේ නෑ"
06:55
Video thumbnail
ලුනාවේ කලපුවෙන් හමුවූ අභිරහස් නිසල සිරුර..සිරුර හදුනා ගන්න බැරි තරමට විරූපි වෙලා
01:18
Video thumbnail
මධ්‍යම බස් නැවතුම්පොළ ගැන ජනතාවගේ අදහස්.."හොඳ වුණාට අපිට පහසුකම් නෑනේ.. Stand එක Update වෙලා..
02:41
Video thumbnail
නිදහස් පක්ෂයේ කාන්තාවෝ ජනපතිව හොඳවයින් අමතයි
05:07
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13