සසන්ති මරණ දණ්ඩනයට යටත්ව යකඩ කූරු අතරින් එපිට පිහිටි ලෝකය ගැන සිතමින් සුසුම් හෙළන්නීය.
සුදු වතින් හැඳී ඇය තවමත් රූමත්ය. රුවැති සසන්ති වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට පැමිණියේ හතළිස් වියේදීය.
සැමියා සමඟ එක්ව ස්වාමි දියණිය මරා දැමීමේ චෝදනාවට ඇය වරදකාරියක් වූවාය. ඒ වෙනුවෙන් ඇය අද මරණ දණ්ඩනයට යටත්ව සිටින්නීය.
ග්‍රාමීය පරිසරයක හැදී වැඩුණු සසන්ති ඉතා සියුමැලි තරුණියකි. කොළඹ ජීවිතයේ ලද කටුක ගොරහැඩි අත්දැකීම් සමුදායත් සමඟ යකඩ ගැහැනියක් බවට ඇය පත්ව සිටින්නීය. ඇගේ මුහුණේ සිනහවක සේයාවක් හෝ නොවීය. කඳුළු උල්පත් ද සිඳී ගොසිනි. මුහුණ සුදුමැලිය. දැඩි කලකිරීමකට පත් බවක් ඇගෙන් දිස් විය.
සසන්ති ඉපදුණේ අම්පාර ප්‍රදේශයේය. පවුලේ එකම දරුවා වූ ඇය සැප පහසු ජීවන රටාවකට හුරු පුරුදු වී සිටියාය.
එහෙත් ඇය හත් වැනි වියට පා තබත්ම ඇගේ මව අවාසනාවන්ත ලෙස මිය ගියාය. එයින් පුංචි සසන්තිත් ඇගේ පියාත් අන්ත අසරණ තත්ත්වයකට පත් වූවාය.
මවගේ තෙමස් පූර්ණ දින සාහසිකයකුගේ වෙඩි පහරින් පියා ද මෙළොවින් සමුගත්තේ පුංචි සසන්ති මෙලොව තනි කරමිනි. ඇගේ පිහිටට පැමිණි මිත්තනිය ඇගේ නිවෙසට සසන්ති කැටුව යන්නේ මෙම විනාශය සිදුවීමෙන් අනතුරුවය. පසුව දිනෙන් දින ලොකු මහත් වූ සසන්තිට මවගේත් පියාගේත් අඩුව දැනෙන්නට මිත්තනිය ඉඩ නොතැබුවාය.
ඉතා ආදරයෙන් සෙනෙහසින් ඇය ලොකු මහත් කළත් හදිසියේ අසනීප වී මිත්තනිය ද මිය ගියාය.
මිත්තනියගේ අභාවයෙන් පසු සසන්තිට මෙලොව කිසිම කෙනකු නොවීය.
කර කියා ගත හැකි දෙයක් ද නොවීය. අවසානයේ මිත්තනියගේ සොහොයුරිය සොයා ඇය කොළඹ පැමිණියාය. ඒත් ඥාතීන් මුණ ගැසීමේ සතුට ඇයට වැඩි කාලයක් භුක්ති විඳීමට නොලැබුණි. ඒ පැතුම්ගේ නෙතට ගැටෙන මෙම ගැමි තරුණියට ඉන් බේරීමට ඉඩක් නොලැබෙන නිසාය. ඇය කෙතරම් අකමැති වූවද, නිවැසියන් කෙතරම් අවවාද කළ ද අවසානයේ පැතුම් බලහත්කාරයෙන් සසන්තිව ඔහුගේ නිවෙසට රැගෙන ගියේ ඥාතීන් ඇතුළු සැවොම භීතියට පත් කරමිනි.
ඇගේ කඳුළු කතාව ඇය මෙසේ කියා සිටින්නීය.
“මම ගමක හැදුණු වැඩුණු අහිංසක කෙල්ලක්. කවදාවත් මගේ ගෙදර රණ්ඩුසරුවල් තිබුණේ නැහැ. හැමෝම හරිම සාමකාමී විදිහට ජීවත් වුණේ. ගමෙන් කොළඹ ආවත් මම කොළඹ ජීවිතයට කැමති නැහැ. මට තාමත් මගේ ගමේ වෙල් ඉපනැලි හීනෙන් පේනවා. මම ඒතරමටම ගමට ආශා කළ කෙනෙක්. මගේ කරුමෙට මගේ කියන හැමෝම මාව දාලා ගියා. ඒ කරුමය උරුම කරන් කොළඹ ආපු මට පැතුම් මුණ ගැසුණා. එයා මාව බලෙන් එයාගෙ ගෙදර අරන් ගියත් මට ඒකෙ ලොකු වරදක් එදා පෙනුණෙ නැහැ. ඒත් පැතුම්ගේ ගෙදර අයගේ හැසිරීම් එක්ක මට ඒක මිහිපිට අපායක් වුණා. මට කැමති අකමැති හොඳ නරක හැමදේම ඒ ගෙදර දි කරන්න වුණා.
මම සිරගෙදරට එන්න කලින් සිටියේ කොළඹ ලොකු නෝනා කෙනකුගේ ගෙදර. ඒ නෝනගෙ ගේ දොර වැඩවලට මම උදව් කළා. මම ඒ ගෙදරට ආවේ පැතුම්ගෙ ගෙදරින් පැනලා හොර රහසෙමයි. ඒත් පස්සෙ දවසක අතරමඟදි මට පැතුම් මුණ ගැහිලා කොළඹ ගෙදර හොයාගෙන ආවා. මම පැතුම් ගැන දන්න නිසා කොළඹ ගෙදර තියෙන තැන කියන්න එපා කියලා මම නෝනට කොච්චර කීවත් නෝනා ඒක තේරුම් ගත්තෙ නැහැ. නෝනා පැතුම්ව ගෙදරට ගෙන්න ගත්තා. මැඩම් පැතුම්ට මාසයකට ගානක් දෙන්නත් පොරොන්දු වුණා. ඒක මාසික පඩියක් වගේ. ඒක ගන්න හැම මාසෙම පැතුම් කොළඹ පිහිටි නෝනගේ ගෙදර ගේට්ටුව ළඟට ඇවිත් ඒක අරන් යන්න ගියා.
සිද්ධිය වෙච්ච දවසට දින දෙකකට පෙර මට හොඳටම අසනීප වුණා.
නෝනා මාව පෞද්ගලික ඩොක්ටර් කෙනෙක් ළඟට අරන් ගියා. ඒත් මට ඒ බෙහෙත්වලට අඩු වුණේ නැහැ. හොඳටම අමාරු වුණා. නෝනා මාව මහඉස්පිරිතාලෙට අරන් ගියාම මට ඩෙංගු හැදිලා කියලා දොස්තර කිව්වා. නෝනගේ පුතා හිටියේ ඇමරිකාවෙ. වෙන කවුරුත් ඒ ගෙදර හිටියෙ නැහැ. ඒ නිිසා දවල් මට සුප් එකක් හදාගෙන එන්නම් කියලා නෝනා ගෙදර ගියා.
ඒත් නෝනා දවල් මාව බලන්න ආවේ නැහැ. මට හරිම දුකක් දැනුණා. නෝනා ඊළඟ දවසෙත් ආවෙ නැහැ.
එදා හවස පැතුම් මාව බලන්න ඉස්පිරිතාලෙට ආවා. හරිම කලබලෙන් මාව ගෙදර අරන් යන්න ටිකට් කපා ගන්න හැදුවා. රෝහලට බාර දුන් භාරකරු එයා නෙමේ නිසාත්, මගේ රෝගී තත්ත්වය නිසාත් වෛද්‍යවරයා පැතුම් සමඟ රණ්ඩුවකට පැටළුණා. කොහොම හරි එයා බලෙන් මාව ගෙදර අරන් ගියා. මම හිතුවේ නෝනා හදිසියේ එයාගෙ පුතා ඉන්න දිහාට ගිහින් කියලයි. මට බයක් සැකක් හිතුණත් මම හිටියෙ හරිම අසනීප තත්ත්වයෙන් නිසා මට නින්ද ගියා.
මාව ගෙදර ගෙනත් කාමරයකට දාලා වහපු පැතුම් කොහේ හරි යන්න ගිහින්. මට බෙහෙත් ගෙනත් දුන්නෙත් එයාගෙ අම්මා. දින දෙකකට විතර පස්සේ කුස්සියේ තිබුණ පත්තරයක මම නෝනගෙ රූපය තියෙනවා දැක්කා.
“දෙවියනේ මම දැනගත්තෙ එවේලෙ තමා පැතුම් ඒ අහිංසක නෝනව මරලා කියලා. නෝනගෙන් සල්ලි ගන්න ගිය පැතුම්ට මම අසනීප වෙලා ඉස්පිරිතාලේ කියලා නෝනා කියලා තියෙනවා. වෙනදාට ගේට්ටුව ළඟ නතර වෙන පැතුම් එදා ගේ ඇතුළටම ඇවිත්. නෝනා ඒ වෙලාවේ මට ගේන්න සුප් හද හදා ඉඳලා තියෙන්නේ. සල්ලි ඉල්ලුවාම නෝනා රුපියල් 3000ක් දීලා ඉතිරිය පස්සෙ දෙන්නම් කියලා තියෙනවා. හදිසියක් කියලා පැතුම් නෝනගෙන් රුපියල් ලක්ෂ 2ක් ඉල්ලලා තියෙනවා. නෝන නැහැ කිව්වාම නාන කාමරයට ගෙනිහින් නෝනව දූෂණය කරලා අන්තිමට මරලා දාලා. පස්සේ නෝනගේ රත්තරං බඩුත් අරන් පැනලා ගිහින් තියෙනවා.”
“මිනී මරලා වසන් කරන්න බැහැනේ. කවදා හරි ඒක එළි වෙනවාමයි. පොලිසියට මේ සේරම අහුවුණාම මමයි “ගෙදර යතුර” දුන්නේ කිියලා පැතුම් කියලා තියෙනවා. අහක උන්න මාවත් මේ මිනීමැරුමට සම්බන්ධ වුණෙත් ඒ නිසා. ඒවගේ රත්තරන් නෝනා කෙනෙක් මරන්න ඕනද. මගේ අත්වල ලේ නෑ. සැමියා බිරිඳගේ දෙවියාය කීව්වත් මේ මිනිහනම් නරුමයෙක්. මගේ ජීවිතේ මට කවදාවත් සැනසීමක් එයා දුන්නෙ නැහැ.”
“පැතුම්ගෙ ගෙදරට ගිය දවසෙ ඉඳන් කොළඹ නෝනගෙ ගෙදරට පැනලා එනකම් මම දස වධ වින්දා, පැතුම් මාව බැඳලත් නෑ. එයා මාව එයාගෙ හොර ගෑනි විදිහටයි තියන් හිටියේ. එයාට තිබුණු බඩුලොරිවලින් එයා හැමදාම කළේ ගෑනු අරන් හෝටල්වලට යන එකමයි. ඒක මට කිව්වේ ලොරි වල ඉන්නෙ එයාගෙ ගෝලයොයි. එයා ඇහුවාම මට ගහනවා. සමහර දාට දණ ගස්සලා තියනවා. මේ දුක ඉවසන්න බැරිව මම ගෙදර යන්න දෙන්න කියලා කකුල් දෙක අල්ලලා වැන්දත් එදා මට පයින් ගහනවා. මට දරුවො දෙන්නෙක් ලැබෙන්න හිටියා. ඒක දැන ගත්තමත් හොඳටම ගැහුවා. ඒ නිසා ලැබෙන්න හිටිය දරුවො දෙන්නත් මට නැති වුණා. එක දවසක් රෑ මම හොඳටම ගුටි කාලා හිටියේ. පැතුම්ට නිදා ගන්න ඇරලා මම මහ රෑ ගෙදරින් පැනලා ආවා. එයිනුත් පස්සේ තමයි මට කොළඹ නෝනා හම්බ වුණේ.
මම කොළඹ නෝනා ළඟට ආවේ ඒ විදිහටයි. නෝනා මාව හොඳීන් බලා ගත්තා. ඒ රත්තරන් නෝනව පැතුම් මැරුවා කිව්වම මට ඒක දරාගන්න බැරුව ගියා. මොනව වුණත් මට පැතුම්ගෙ ගෙදරට වඩා මේ සිර ගෙය දාහකින් සම්පතයි. ඒ වගේම ජාති ජාතිත් අසත්පුරුෂ මනුෂ්‍යයෝ ඇසුරට නොවැටේවා! මම හැමදාම පතන්නේත් හිතන්නේත් ඒකම තමයි.