න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ සූදානම සමාලෝචනය කෙරෙන විශේෂ වැඩසටහන, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් අද (14) කොළඹ දී ආරම්භ වුණා.
පරමාණුක බලශක්ති මණ්ඩලයේ මෙහෙයවීමෙන් අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ (IAEA) විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් අද (14) ආරම්භ වූ වැඩසටහන ජූලි 18 දක්වා පැවැත්වෙනවා.
මෙහිදී ආරම්භක අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා ලංකාවේ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ ඉදිරිය ගැන කල්පනා කිරීමේදී අද ඇරඹුණු මෙම සමාලෝචන වැඩසටහන ඉතා වැදගත් පියවරක් වන බව ප්‍රකාශ කළා.
එමෙන්ම විශ්වාසනීයත්වය, අඩු පිරිවැය හා බලශක්ති ආරක්ෂාව සම්බන්ධයෙන් සලකන කළ න්‍යෂ්ටික ශක්තිය ඉතා වැදගත් බවද ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ දිගු කාලීන විදුලි ජනන සැලැස්ම පුළුල් කිරීම (LTGEP) 2025–2044 යටතේද මූලික ක්‍රමවේදයක් ලෙස න්‍යෂ්ටික ශක්තිය ඇතුළත් කර ඇති බවද සඳහන් කර සිටියා.
ශ්‍රී ලංකාව තවමත් න්‍යෂ්ටික ශක්තිය භාවිතය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති නමුත්, අනාගත අවශ්‍යතාවයන් සලකා බලා එය භාවිත කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සකස් කිරීමේ කටයුතු දිගටම ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් ඇමතිවරයා වැඩිදුරටත් අවධාරණය කළා.
ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ ඉහළ ඇගයීමක් ලබාගැනීමට මෙම සමාලෝචන වැඩසටහන මගින් අවස්ථාව සැලසෙන අතරම, ඒ සම්බන්ධව අපගේ වර්තමාන තත්වය හඳුනාගැනීමට හා ඉදිරි පියවර සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීමටද එය උපකාරී වන බවත් ඔහු තවදුරටත් පැවසුවා.
මෙම අවස්ථාව සඳහා අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ න්‍යෂ්ටික විශේෂඥ ජෝන් හද්දාද් ප්‍රමුඛ විශේෂඥයින් පිරිසක් සහ ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති ආචාර්ය තුෂාරා රත්නායක, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ජගත් පිටවල ඇතුළු ක්ෂේත්‍රයට අදාළ විද්වතුන්, ප්‍රවීණයින් රැසක් ද සහභාගීව සිටියා.















