දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි මැකෝ ගිරවෙක් සොරකම්කර ඇති බවට දෙහිවල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
පසුගිය 05 වනදා සත්වෝද්‍යානයේ ආරක්ෂක අංශය විසින් මෙම පැමිණිල්ල සිදුකළ බවයි දෙහිවල පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ.
පසුගිය 04 වනදා රාත්‍රියේ මෙම ගිරවා සොරාගෙන ගොස් ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන අතර, තවමත් සැකකටයුතු කිසිවෙක් අත්අඩංගුවට ගැනීමක් සිදුකර නැහැ.
මේ සම්බන්ධයෙන් අප ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවවේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය චන්දන රාජපක්ෂගෙන් විමසීමක් කර සිටියා.
එහිදී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ ලක්ෂ 02ත් 03ත් අතර වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙක් මෙලෙස සොරාගෙන ගොස් ඇති බවයි.
මැකෝ ගිරවුන් 20ක් පමණ රඳවා සිටි කුඩුවක් කඩා මෙම ගිරවා සොරාගෙන ගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
මෙම සොරකම සිදුවූ රාත්‍රියේ සැකකටයුතු අයෙක් අවට සැරිසරන බවට ආරක්‍ෂිත කැමරාවල සටහන්ව ඇති බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවා.
මීට වසර දෙකකට පමණ පෙර ද මේ ආකාරයෙන් මැකෝ ගිරවෙක් සොරාගෙන ගොස් තිබූ බව සඳහන් කළ ඔහු, එලෙස සොරාගත් ගිරවා; සොරාගත් පුද්ගලයින් විසින්ම ගෙනවිත් භාරදුන් බවත් සඳහන් කර සිටියා.





