ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති ව වැඩ විසූ මාතර – කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමිපාණන් වහන්සේ හෙවත් ‘දිඹුලාගල හාමුදුරුවෝ’
කුරිරු ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කර අද (26) දිනට වසර 30ක් සපිරෙනවා.
රටටත්, ජාතියටත්, සම්බුද්ධ ශාසනයටත් අමිල මෙහෙවරක් ඉටු කළ, 1500කට වැඩි පිරිසක් සම්බුද්ධ ශාසනයට ඇතුළත් කරමින්, වෙහෙර විහාරස්ථාන, සහ ජනපද බිහිකර ජනතාව පදිංචි කරවා, පිඬු සිඟා වඩිමින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනය ලක්වාසී, ලෝකවාසී, ජනතාවට වන්දනාමාන කිරීමට මග පාදා දුන් වීර භික්ෂුවක් ලෙස සැලකෙන ශ්‍රී සීලාලංකාර නාහිමිපාණන් වහන්සේ වර්ෂ 1995 මැයි 26 වැනිදා දිඹුලාගල මැණිකේ ඇළ ප්‍රදේශයේ ගොවිපළකට වැඩම කරමින් සිටියදී, ත්‍රස්තවාදී ප්‍රහාරයකින් අපවත් වුණා.
මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමිපාණන් වහන්සේගේ 30 වැනි ගුණ සමරු පිංකම නිමිත්තෙන් අද සවස 03ට මනම්පිටිය – දිඹුලාගල නාහිමි ප්‍රතිමා වහන්සේ අබියස අධිෂ්ඨාන සම්බුද්ධ පූජාව හා මහා සංඝරත්නයට චතුමදුර, සහිත ගිලන්පස පූජාවක්, මෙන් ම අෂ්ට පරිස්කාර පූජාවක් පැවැත්වීමට මාගංතොට ශ්‍රී ධර්මරාජ විහාරාධිපති පූජ්‍ය අත්තනකඩවල ජනතාලංකාර නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ දිඹුලාගල නාහිමි ගුණ සමරු පදනම සංවිධානය කටයුතු කර තිබෙන බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
මීට අමතරව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දී ජුනි මස 09 වැනිදා සිට 15 වෙනිදා දක්වා දිඹුලාගල නාහිමිපාණන් වහන්සේ සිහිපත් කරමින් විශේෂ පින්කම් මාලාවක් සිදු කිරීමට කටයුතු කර ඇති බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති, දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් වහන්සේ පැවසුවා.





