දැනට වැරදිකරුවන් බවට පත්ව දඬුවම් විඳිමින් සිටින තරුණ වරදකරුවන් ට පවතින සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය යටතේ ඉගැන්වීම අසාර්ථක බවත්, ඔවුන් සඳහා අධ්‍යාත්මික හා හැසිරීම් රටාවේ ප්‍රගතියක් ඇති කිරීමට පුහුණුවක් දිය යුතු බවත් ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා සහභාගී වන තරුණ නියෝජිතයෝ පෙන්වා දී තිබෙනවා.
එසේම ඔවුන් සඳහා වෘත්තීය අධ්‍යාපනය ලබා දීම මීට වඩා ඵලදායී බවත් එමඟින් ඔවුන්ට රැකියාවක් වෙත විවෘත වීම මෙන්ම වසරක පමණ පුහුණු කාලයෙන් පසු ඉතිරි වසර 2 ක තුළ ආදායම් උත්පාදන ක්‍රමවේදයක් වැනි දෑ හඳුන්වා දීම තුළ ඔවුන් වසර 3ක නේවාසික කාලයෙන් පසු පිටවන විට යම් ආර්ථිකමය හැකියාවක් සමඟ පිටවීමට හැකිවීම මෙන්ම නැවත වරදට පෙළඹීම සිමා කරනු ඇති බවයි ඔවුන් පෙන්වාදී ඇත්තේ.
මේ අදහස් පළ වූයේ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ ඇති වටරැක තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලය හා ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව යන ආයතන ජාතික ඒකාබද්ධතාවය පිළිබද ආංශික ආධීක්ෂණ කාරක සභාව සඳහා කැඳවූ අවස්ථාවේදීයි.
ජාතික ඒකාබද්ධතාවය පිළිබද ආංශික ආධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වුණා.
වයස අවුරුදු 16 – 22 අතර වයසේදී වරදක් කිරීම හේතුවෙන් අපරාද නිතිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණ මඟින් දණ්ඩනයක් නියම කරනු ලැබූ තරුණ වරදකරුවන් මෙම ආයතනයට ඇතුළත් කෙරෙනවා.
එම දඬුවම් කාලය සිර දඬුවමක් නොවන අතර අනිවාර්ය වසර 03ක රැදවුම් කාලයක් බවත් මෙම දරුවන්ට රැදවුම් කාලයෙන් අනතුරුව බාහිර පරිසරයේ රජයේ රැකියාවකට හෝ අයදුම් කිරීමට හැකි බවත් වටරැක තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලයේ ජේෂ්ඨ සහාකාර ලේකම් ඒ.වී. වජීරා දමයන්ති මහත්මිය පෙන්වා දෙනු ලැබුවා.
තරුණ වරදකරුවන් බන්ධනාගාර ගත විමේ ප්‍රවණතාව 2013 – 2022 කාලය තුළ අඩුවෙමින් පවතින බවයි ආයතනික දත්ත අනුව මෙහිදී පෙන්වා දී ඇත්තේ. මෙම අභ්‍යාස විද්‍යාලයට ඇතුල් වන බොහෝ දරුවන්ගේ පවුල් සම්බන්ධතා බිද වැටී ඇති බවත් රැදවුම් කාලයෙන් අනතුරුව ඇතැම් දරුවන්ගේ භාරකාරීත්වය සම්බන්ධයෙන් ගැටලු ඇති වන බවත් මෙහිදී අනාවරණය වුණා.
වටරැක තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලය තුළ අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පාසල් අධ්‍යාපනය ලබා දෙන අතර එහි පාසල් අධ්‍යාපනය අනිවාර්ය කර තිබෙනවා. එහි දරුවන් සාමන්‍ය පෙළ විභාගයට පෙනී සිටි නමුත්, ඉන් සමත්වන ප්‍රමාණය ඉතාමත් අවම මට්ටමක පවතින බව සඳහන්. එනම් 2014 වර්ෂය තුළ සමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි දරුවන් ප්‍රමාණය 16ක් වුවද ඔවුන් අතරින් සමත් වූ දරුවන් ප්‍රමාණය එක් අයෙක්. 2021 වසරේ දී සමත් වී ඇත්තේද එක් දරුවෙක් පමණයි.
පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරිමේ නීතියත් සමඟ එම දරුවන්ට වෘත්තීය අධ්‍යාපනය ඵලදායී ලෙස ලබා දීම ගැටලුවක් බවයි නිලධාරීන් අවධාරණය කළේ. මෙම ප්‍රතිපත්ති වෙනස් කල යුතු බවට හඳුනාගන්නා ගත් කාරක සභාව මෙම ගැටලු පිළිබඳ මීට අදාළ ආයතන හා ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ සාකච්ඡා කිරීමට එකඟත්වය පළ කර තිබෙනවා.
තරුණ වරදකරුවන්ගෙන් කොපමණ පිරිසක් නැවතත් වැරදිකරුවන් විමේ සම්භාවිතාවක් පවතී ද යන්න කාරක සභාව තුළ ප්‍රශ්නයට නැඟුන අතර ඒ සඳහා නිලධාරීන් පෙන්වා දුන්නේ දරුවන් 11 දෙනෙකුගෙන් 9 දෙනෙක් නැවත වරදකරුවන් ලෙස පැමිණිමේ සම්භාවිතාවක් පවතින බවයි.
මෙම දරුවන් සදහා භාෂාමය ප්‍රවීණතාවය ලබා දීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශය හා සම්බන්ධ කරමින් මෙම දරුවන් විදේශ රැකියා සදහා යොමු කිරීමට යම් ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමු වුණා.
බන්ධනාගාර තුළ පවතින අධික ධාරිතාව වළක්වා ගැනීම සඳහා ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව යොදා ගත හැකි බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි කාරක සභාව මෙහිදි පෙන්වා දුන්නේ.
දැනට ප්‍රජා පාදක විශෝධනයට යොමු විය යුතු එහෙත් මහේස්ත්‍රාත්වරුන් විසින් බන්ධනාගාර ගත කොට ඇති ප්‍රමාණයෙන් 50% ක් පමණ විශෝධනයට යොමු කල හැකි පිරිස බව ද මෙහිදි සාකච්ඡා වී තිබෙනවා. මෙය ඉතා ගැටලුකාරී තත්වයක් ලෙස කාරක සභාව පෙන්වා දුන් අතර මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරු දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දෙනු ලැබුවා.
රාජ්‍ය ආයතන සලකා බැලීමේදී එකම කාර්ය සඳහා ආයතන කිහිපයක් පැවතීම සහ ඒ ආයතන අතර අන්තර් සම්බන්ධයක් නොමැති වීම ගැටලුවක් ලෙසටයි තරුණ නියෝජිතයන් පෙන්වා දුන්නේ.
ව්‍යාපෘති ඉදිරිපත් කිරිමේදී, හරිත ව්‍යාපෘති, ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය, හා පානීය ජල බෝතල්කරණය වැනි ව්‍යාපෘති හඳුන්වා දීම මඟින් ආදායම් උත්පාදන ක්‍රියාවලි නිර්මාණය කල හැකි බවටද ඔවුන් විසින් යෝජනා ඉදිරිපත් කරනු ලැබුවා.
එසේම රජයේ උපකාරයක් ඇතිව යම් ආදායමක් උපයන තැනැත්තන් හට එම මුදලින් කොටසක් හෝ නැවත රජයට ගෙවිමේ හැකියාව තිබිය යුතු බවත් එම මුදලින් තවත් එවැනි පිරිස් හට මෙවන් ව්‍යාපෘති කිරීමට ආයෝජනය කිරීම තුල මහජන මුදල් මතම රාජ්‍ය ආයතන යැපිමෙන් ඉවත්ව ඒවායේ පාලනයට අවශ්‍ය මුදල් එම ආයතනයන්ටම සපයා ගැනීමේ අවස්ථාව හිමි වන බවත් තරුණ නියෝජිතයන් මෙහිදී පෙන්වා දෙනු ලැබුවා. විශ්ව විද්‍යාල හරහා සිදුවන පර්යේෂණ, ප්‍රතිපත්ති සම්පාදකයින් හා සම්බන්ධ කිරීම වැදගත් බවයි ඔවුන් විසින් අවධාරණය කරනු ලැබුවේ.



