ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවයේ වැටුප් පරිමාණවල පවතින විෂමතා ඉදිරියේ දී නිරාකරණය කර වැටුප් ලබාදීමට කටයුතු කරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.
ගුරු උපදේශකයන්ගේ වැටුප් වල පවතින විශමතාවයන් ඉවත් කරන ලෙස ඉල්ලා සමස්ථ ලංකා ගුරු උපදේශකවරුන්ගේ සංගමය විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් යුරේෂා ද සිල්වා එම දැනුම් සිදු කරනු ලැබුවා.
එම පෙත්සම ප්‍රීති පද්මන් සුරසේන සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (29) කැඳවනු ලැබුවා.
එහිදි පෙත්සම්කාර සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ සඳහන් කළේ ගුරු උපදේශකවරුන්ගේ වැටුප ගුරුවරුන්ගේ වැටුපට වඩා ඉතා අඩු බවත් එයින් ගුරු උපදේශකවරුන්ට බලවත් අසාධාරණයක් සිදුවන බවයි.
එහිදි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යුරේශා ද සිල්වා සඳහන් කළේ ගුරු උපදේශකවරුන්ගේ වැටුප්වල පවතින එම ගැටලු නිරාකරණය කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බවයි.
ඒ, සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවය එකඟතාව පලකර සිටියා.
ඉන් අනතුරුව අදාළ පෙත්සමෙ කටයුතු අවසන් කිරීමට විනිසුරු මඩුල්ල නියෝග කළා.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.